Dakma - දැක්ම

Hot

Post Top Ad

Your Ad Spot

Thursday, May 2, 2024

ගුරු ගෙදර තුළ සුරැකි දේශීය නර්තනය

May 02, 2024 0

 දේශීය නර්තන සම්ප‍්‍රදායයන් වන උඩරට,පහතරට හා සබරගමු නර්තන සම්ප‍්‍රදායත‍්‍රය පිළිබඳ අධ්‍යයනයේ දී ඒවා අතීතයේ සිට වර්තමානය දක්වා අධ්‍යාපනික වශයෙන් ව්‍යාහාර වූ ආකාරය, එහි දී නර්තන සම්ප‍්‍රදායයන් හි සිදු වූ වෙනස්කම් ආදී බොහෝ කරුණු කාරණාවන් පිළිබඳව අවබෝධ කර ගත හැකිවේ.  වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළට නර්තන විෂය අන්තර්ගත වීමට පෙර දේශීය නර්තනයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව මෙහිදී අධ්‍යයනය කෙරේ.



  උඩරට,පහතරට හා සබරගමු යන දේශීය නර්තන සම්ප‍්‍රදායත‍්‍රයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන මූලිකම කරුණක් වන්නේ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පදනම් කර ගනිමින් මුල් කාලීනව අධ්‍යාපනිකව ව්‍යාවහාර වූ දේශීය නර්තනය පසුකාලීනව සමාජය තුළ සිදු වූ වෙනස්කම් වලට අනූරූප වෙමින් වත්මනේ පවතින අධ්‍යාපනික ව්‍යාවහාරය දක්වා වෙනස් වෙමින් පැමිණ ඇති බවය. මෙහි දී ගුරු ගෘහීය අධ්‍යාපනය යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිසියම් ශිල්ප ශාස්ත‍්‍රයක් ගුරුවරයාගේ නිවසේ සිට ඉගෙන ගැනීම හා ඉගැන්වීම යන්නයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ ප‍්‍රභවය ලැබූ පාරම්පරික නර්තන සම්ප‍්‍රදායය හා බැඳී පවතින ඉපැරණි චාරිත‍්‍රය වූයේ ශිෂ්‍යයන් ගුරුවරයාගේ නිවසේ නේවාසිකව සිට නර්තනය භේරි වාදනය ඇතුළු  සෙසු විෂයන් ඉගෙන ගැනීම හා අභ්‍යාසයේ යෙදීම වේ. (රාජපක්ෂ,2004)

    ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එහි වත්මන් අධ්‍යාපන ක‍්‍රම වල නොමැති සුවිශේෂතා රාශියක් දැක ගැනීමට හැකි වන බව පැහැදිලි කර ගත හැකි වේ. මෙකී අධ්‍යාපනයට කාලයක් හෝ විෂය සීමාවක් පනවා නොතිබීමෙන් නොවිධිමත් අධ්‍යාපනික ලක්ෂණ විද්‍යාමාන විය. ශිෂයෙකු ගුරු ඇසුරෙහි සිටින තාක් කල් ඔහුට ගුරුවරයා සතු වූ නෛසර්ගිකාංග ඉගෙනගැනීමට ලැබෙන්නේ ගුරුවරයා සමඟ  නිරතුරුව පුරුදු පුහුණ වීමෙනි.(ලංකාතිලක,2004) ශාන්තිකර්ම පද්ධතිය හා පවතින නර්තනාංග ගායනා විධි, සැරසිලි සහ කැටයම් කලාව චිත‍්‍ර සහ මූර්ති ශිල්පය, වාද්‍ය භාණ්ඩ සැකැස්ම, රංග භාණ්ඩ සහ වස්ත‍්‍රාභරණ සැකැස්ම ඇතුළු ප‍්‍රායෝගික කොටස් ඉගෙන ගැනීමේ දී ඒ තුළ පවතින හරබර ගතිය ගැඹුරු පදනමක් මත ඉගැන්වීම ගුරුකුල අධ්‍යාපනකරණයේ ප‍්‍රමිතිය විය. (රාජපක්ෂ,2004)

    අතීත ශි‍්‍ර ලංකාව තුළ පැවති සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමයේ පොදු ලක්ෂණ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමයට ද එකසේ අදාල විය. මෙබඳු ක‍්‍රමයක් තුළ පුද්ගලයාගේ සමාජානුයෝජනය ද ඔහුට යම් ශිල්පයක පුහුණුවක් ලබා දී යම් කර්මාන්තයකට හෝ වෘත්තියකට පිවිසවීම ද, සමාජයේ වටිනාකම් ඉගැන්වීම ද, සමාජයේ පොදු සමාජ සිරිත් විරිත් හා හැසිරීම් රටා පිළිගැන්වීම යනාදී මේ සියල්ල තනි ඉගෙනුම් පද්ධතියක අභේද්‍ය අංග විය. ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ නර්තන අධ්‍යාපනය ලැබීමට අදාල වන්නාවූ අවශ්‍යතාවයන් රාශියක් පූර්ණය කිරීමට ශිෂ්‍යයාට සිදු විය. ඉපැරණි යුගයේ ගුරුකුල සංස්ථා ආචාර්යවරු විසින් නර්තනය හා භේරි වාදනය ඉගැන්වීම සඳහා ගුරු කුලයට පාරම්පරික ශිෂ්‍යයන් භාර ගැනීමේ දී එකී කාර්යයන් සඳහා අවශ්‍ය වන අඟ පසඟ සහජ හැකියාව, චරිතය හැදියාව සහ ශිල්ප ඉගෙනීම සඳහා යෝග්‍ය ග‍්‍රහ පිහිටීම පිළිබඳ පරික්ෂාකිරීම පිළිවෙතකි. මෙය ලාංකේය සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය තුළ තිබුණු පොදු ක‍්‍රමවේදය විය. ඒ අනුව ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ සියලූ අංග ලක්ෂණ ඇතුළත්ව සාර්ථක අධ්‍යාපනයක් සිදු වූ බව සිතිය හැකි ය.

    ගුරුකුල අධ්‍යාපනය හා බැඳී පවතින ශිල්ප විධි සියල්ලම පාහේ මුඛ පාඨ වශයෙන් සහ ප‍්‍රායෝගික වශයෙන් ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට වර්තමානය දක්වා ආරක්ෂා කර ගැනීමට  හැකි වී ඇත්තේ ඉගැන්වීම් ක‍්‍රමවේදය සාර්ථකව පැවති බැවින් බව නිගමනය කළ හැකි ය. (රාජපක්ෂ,2004) මේ ආකාරයට එක් එක් ගුරු පරම්පරාවන් විසින් තම පරපුරට උරුම වූ දැනුම් සම්භාරය අනාගත පරපුරට සාර්ථක ලෙස දායාද කිරීම සිදු විය. ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ සිදු වූ අඩුපාඩුවක් ලෙස ගුරු මුෂ්ඨිය වශයෙන් යම් ශිල්ප කොටස් ගරුවරයා විසින් තම ශිෂ්‍යාට ලබා නොදීම දැක්විය හැකිවේ. මෙම ලක්ෂණය උඩරට, පහතරට හා සබරගමු යන සම්ප‍්‍රදායත‍්‍රයටම පොදු වූ අංග ලක්ෂණයකි.

    ගුරු ගෘහීය අධ්‍යාපනය මගින් බිහිවන නවක නර්තන ශිල්පීන් සමාජගත කිරීම ද ඉතා උසස් ආකාරයට අතීත අධ්‍යාපන ක‍්‍රමය තුළ සිදු විය. පහතරට හා සබරගමු නර්තන සම්ප‍්‍රදායයේ එකී අවස්ථාව මඩු බැසීම, කළ එළි මඩු බැසීම, කළ එළි බැසීම, කළ එළි මඩු මංගල්‍යය, මංගල මඩුව, කළ එළිය යන පදවලින් හැඳින්වේ. උඩරට නර්තන සම්ප‍්‍රදායේ මෙකී අවස්ථාව හිස වෙස් තැබීමේ මංගල්‍යය, හිස වෙස් බැඳීමේ මංගල්‍යය, වෙස් මංගල්‍යය, හිස වෙස් තැබීමේ නැකැත් මංගල්‍යය ආදී පදවලින් හඳුන්වනු ලැබේ.

     සියවස් ගණනාවක් තිස්සේ නර්තන කලාව මෙන්ම දේශීය දැනුම් පද්ධතිය ආරක්ෂා කර ගෙන පවත්වාගෙන ආ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පෘතුගීසි සහ ලන්දේසි පාලන ක‍්‍රමයන් යටතේ බිඳ වැටීම ආරම්භ විය. එය 1815 ඉංගි‍්‍රසි ආක‍්‍රමණයත් සමඟ වඩා ති‍්‍රව‍්‍රරව සිදු වන්නට විය. මෙරට සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන සියලූ අංග වලට ඉංගි‍්‍රසි ආක‍්‍රමණය එල්ල වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අප සතුව පැවති ගුරු ගෘහීය අධ්‍යාපන රටාව ක‍්‍රමයෙන් බිඳ වැටෙන්නට විය.

    වැඩවසම් සමාජ රටාව වෙනස් කිරීමට අවශ්‍ය වූ බි‍්‍රතාන්‍ය පාලකයින්ට ලාංකේය කලා ශිල්ප විධික‍්‍රම පවත්වා ගෙන ගිය ශිල්ප ශ්‍රේණි පිළිවෙත ද වෙනස් කිරීමට අවශ්‍ය විය. ලාංකේය අධ්‍යාපන ක‍්‍රමවේදය බිඳ වැටීමට විදේශිකයන්ගේ පාලන කි‍්‍රයාවන් ද හේතු විය. ගුරු ගෘහීය ශිල්පායතන සතුව පැවති පුස්කොල පොත් වෙස් මුහුණු සහ වාද්‍ය භාණ්ඩද ඇතැම් විදේශීය පාලකයන් විසින් රැගෙන ගොස් සුරක්ෂිත වන පරිදි විදේශීය කෞතුකාගාර වල තැන්පත් කර ගැනීමද ඒවා විනාශ කර දැමීමද සිදු විය. මෙම තත්වයන් ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමයේ පැවැත්මට අභියෝගයක් විය. එසේම ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය වෙනස් වීමත් සමඟ එතෙක් අධ්‍යාපන ක‍්‍රමය තුළ තිබූ යම් යම් සීමාවන් ඉවත් වීම ද සිදු විය. විවිධ සංස්කෘතික හා සමාජ සීමාවන් සමඟ සීමිත පිරිසකට පමණක් හිමි වී තිබු නර්තන අධ්‍යාපනය සැමට විවිර වීමේ කි‍්‍රයාවලිය ද ආරම්භ විය. 

    ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය බිඳවැටීම සමඟ දේශීය නර්තනයේ පැවති බොහෝ සිරිත් විරිත් මෙන්ම හර පද්ධතින් ද බිඳ වැටීමකට ලක්විය.  එමෙන්ම යම් සාධනී ලක්ෂණයන් ද නර්තන සම්ප‍්‍රදායයන් වඩා ගොඩනැගෙන්නට විය. ශාන්තිකර්ම සහ පුද පූජා විධි වලට පමණක් සීමා වී තිබූ දේශීය නර්තන සම්ප‍්‍රදායයන් ප‍්‍රාසංගික වශයෙන් වේදීකාවට උචිත ලෙස සකස් වීමේ ආරම්භය ගුරු ගෘහීය අධ්‍යාපනයෙන් නර්තනය ඉවත් වීම සමඟ සිදු විය. විශේෂයෙන් ම කාන්තාවන්ට නර්තන කාලවට සම්බන්ධ වීමට අවස්ථාව ද විදේශීය අධ්‍යාපන ක‍්‍රම අනුව නර්තන අධ්‍යාපනය හැඩ ගැසීමත් සමඟ සිදුවිය. කාලානූරූපව නර්තන අධ්‍යාපනයේ සිදු වූ වෙනස්කම් සමඟ ම ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ තිබූ උසස් ගුණාංගද අප අතින් ගිලිහි යාම ද නොදැනීම සිදු විය. 1930 දශකය නව නර්තනයේ ආරම්භය, කාන්තාවන් නර්තන කාලවට සම්බන්ධ වීම ආදී කාරණාවන් නර්තන අධ්‍යාපනයේ ඉක්මන් වෙනසට බෙහෙවින් බලපාන ලදි


සටහන දිනේෂ් ජයසිංහ

අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

ආශි‍්‍රත ග‍්‍රන්ථ හා ලිපි

නර්තනය හා ශි‍්‍ර ලාංකේය ගුරු කුල සම්ප‍්‍රදාය, වෛද්‍යවතී රාජපක්ෂ, ලලිත කලා සාර සංග‍්‍රය - 3.

ශි‍්‍ර ලංකාවේ නර්තන විෂය ක්ෂේත‍්‍රය හා සම්බන්ධ පාසල් විභාග ක‍්‍රම එහි අභිවෘද්ධියට හේතුවක් වීද ?, ධම්මිකා ලංකාතිලක, ලලිත කලා සාර සංග‍්‍රහය - 3.

පැරණි ශි‍්‍ර ලංකාවේ නර්තන ගුරු කුලයේ හි පැවති අධ්‍යාපනික සංස්කෘතික කි‍්‍රයාවලි වෙනස් වීටම බලපෑ සමාජ පසුබිම, වෛද්‍යවතී රාජපක්ෂ, නර්තන චින්තා.

ශි‍්‍ර ලාංකික නර්තනයේ විකාශනය, තිස්ස කාරියවසම්.

රංගන පළමුවැනි කාණ්ඩය, තැන්වැනි කලාපය, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශාස්තී‍්‍රය සංග‍්‍රහය

රුහුණු නැටුම් සිද්ධාන්ත, කාලිංග ඔබේවංශ 

ශී‍්‍ර ලංකාවේ පාසල් ක‍්‍රමයෙන් බාහිර අධ්‍යාපනය.


(අධ්‍යාපන කටයුතු සඳහා අවැසි ලෙස උපුටා ගන්න, මෙම ලිපිය වෙනත් තැනක පල කරන්නේ නම් කතෘ අයිතිය ලබා දීමට කාරුණික වන්න)

Read More

Sunday, April 28, 2024

ශ්‍රි ලංකාවේ දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය

April 28, 2024 0

   අන් කවරදාකටත් වඩා දේව විශ්වාස පිළිබඳව සමාජය තුළ විවිධ කථිකාවන් ඇතිව තිබේ. එක් කොටසක් දේව විශ්වාස පිටුපස අන්ධානුකරණයෙන් යුතුව ගමන් කරන අතර තවත් පිරිසක් දේව වන්දනය පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීමක් අරඹා ඇත. මේ අතර බුදු දහමේ මූලික ඉගැන්වීම් පවා අභියෝගයට ලක් කරමින් විවිධ මිථ්‍යාවන් බහුල ලෙස සමාජ ගත වීමද වත්මනේ දී දැකිය හැකිය.



    ප්‍රාථමික මනුෂ්‍යයන් වශයෙන් ස්වාභාවදහම කෙරෙහි තිබූ කුතුහලය මෙන්ම බියද මූලික වශයෙන්ම දේව විශ්වාස හා ඇදහිලි කෙරෙහි මිනිසා යොමු වීමට මූලිකවම බලපා තිබේ. මෙය ලාංකිකයින් කෙරෙහිද පොදු ලක්ෂණයකි. ප්‍රාග් බෞද්ධ යුගයේ දී මෙරට විසූ ජනයා සතුවද එවැනි ඇදහීම් තිබූ බව ඉතිහාසය සාක්ෂි සපයයි.

පණ්ඩුකාභය රජු විසින් ව්‍යාධ දෙවියන්ට බටහිර දොරටුව අසල තල්ගසක වෙසෙන්නට ඉඩදුන් බව හා පච්හමරාජිනී නම් දෙවඟන උදෙසා බටහිර දොරටුව අසල දේවාලයක් ඉදිකර දුන් බව මහා වංශයේ සඳහන්ව ඇත. 

    බුදු දහම මෙරට තුළ ස්ථාපිත වීමත් සමඟ එතෙක් පැවති දේව ඇදහිල්ලද වෙනස්කම් වලට ලක්වී තිබේ. බුදු දහමේ මූලික ඉගැන්වීම් තුළදී දේව වන්දනයට ඉඩක් නොවුන ද මෙරට තුළදී බුදු දහමේ ආගමනය හේතුවෙන් එතෙක් පැවති දේව වන්දනා ක්‍රම ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම දේව ඇදහිලි තුළට බෞද්ධාගමික මුහුණුවරක් ආරෝපණය කිරීම සිදුව ඇති බව පැහැදිලිය. සෙනරත් පරණවිතාන දක්වා ඇති ආකාරයට සමන් දෙවියන් බවට පත්වී ඇත්තේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිටි යම නම් දෙවියන්මය. කෙසේ වෙතත් මූලික ඉගැන්වීම් අත්හැරි ජනප්‍රියවාදී බුදු දහමේ දී දේව වන්දනා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම වන්දනා කෙරෙහි බෞද්ධාගමික මුහුණුවර ආදේශ කිරීම ක්‍රමයෙන් සිදුව ඇත. 

    අට්ඨකතා පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ ඊ.ඩබ් අදිකාරම්ගේ මතයට අනුව ලක්වැසි බෞද්ධයන්ට දෙවියන් යනු හුදෙක් බුදුන්ට පක්ෂ වූ හෝ විපක්ෂ සත්ව කොට්ඨාශයක් පමණකි.

අනුරාධපුර යුගයේ මධ්‍ය අවධිය පමණ වනතෙක් මෙරට ජන විශ්වාසය තුල අවධානයට ලක්වූ දෙවිවරු තිදෙනෙකි.

සමන් දෙවි - බුදුන්ගේ පළමු ලංකාගමනය හා සම්බන්ධ වීම

උපුල්වන් දෙවි - බුදුන්ගේ නියමයෙන් විජය රජු ඇතුළු  පිරිසට ආරක්ෂාව සැපයීම

කතරගම දෙවි - එළාර - දුටුගැමුණු යුද්ධය හා සම්බන්ධ වීම

    දෙවැනි සියවස ගජබා රජ සමයේ දී දකුණු ඉන්දියාවෙන් සොලී සිරකරුවන් දොළොස්දහසක් ගෙ ඒමත් සමඟ ඔවුන් ඇදහු ශිව, විෂ්ණු, කාර්තිකේය, පත්තිනි ආදී ඇදහීම් මෙරටට පැමිණි බව ද ඊ.ඩබ් අදිකාරම්ගේ අදහසයි.

    අනුරාධපුර යුගයේ අපරභාගයේ දී ක්‍රි:ව 1017 -1070 දක්වා ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරනු ලැබූවේ සොලීන් විසිනි. එම කාලයේ දී මෙරට තුළ දේව වන්දනය කෙරෙහි ලැබුණු රාජ අනුග්‍රහය හේතුවෙන් මෙරට තුළ දේව වන්දනය මුල් බැස ගැනීම වඩා හොඳින් සිදු විය.

    පොලොන්නරු යුගය වන විට මෙරට තුළ හින්දු දේව විශ්වාස තදින් මුල් බැස තිබූ බව හමුවී ඇති පුරා විද්‍යා නටඹුන් තුළින් ද මනා ලෙස තහවුරු වී තිබේ. එකළ ඉදිවූ පටිමාඝර ආදියෙහි අන්තර්ගත හින්දු දේවාල ආකෘතිය බෞද්ධ පූජා භුමි තුළට හින්දු දේවාල ඇතුළත් වීම ආදියෙන් එය වඩාත් හොඳින් තහවුරු කරනු ලබයි.

    රාජ අනුග්‍රහය, සතුරු ආක්‍රමණ සමඟ ඇති වූ දේශපාලනික වෙනස් වීම් ආදිය සමඟ මෙරට තුළ දේව වන්දනය බුදු දහම හා සමානවම සමහර අවස්ථාවන් වලදී බුදු දහමද අභිබවා යන අයුරින් සමාජය තුළ ස්ථාපිත වීම සිදුව ඇත.

    ක්‍රි:ව 14 වන සියවස පමණ වන විට බුදු රදුන් හා දෙවියන් සම ආස්ථානයක ලා සලකන තරමට දේව වන්දනය සමාජගත වී පැවති බව ගඩලාදෙණයි, ලංකාතිලක විහාරය ආදී ස්ථාන වලදී බුද්ධ මන්දිරය තුළම දේවාල නිර්මාණය වීමෙන් පෙනී යයි.

    කෝට්ටේ යුගය දේව වන්දනය ප්‍රචලිත වීමේ උච්චතම අවස්ථාව බවට පත් වී තිබූ බවට සාධක ලෙස එකළ රචනා වූ සන්දේශ කාව්‍යයන් දැක්විය හැකිය. එම සන්දේශ කාව්‍යයන් පහෙන් හතරකම ග්‍රාහකයා වන්නේ දෙවිවරුය. එනම්,

පරවි, කෝකිල සන්දේශ - උපුල්වන් දෙවියන්ටත්

ගිරා සන්දේශය - නාථ දෙවියන්ටත්

සැළලිහිණි සන්දේශය - විභිෂණ දෙවියන්ටත්, වශයෙනි.

    මේ ආකාරයට සාහිත්‍යය තුළට පවා දේව වන්දනය අන්තර්ගත වීම තුළින් එකළ ජනවිඥ්ඥානය කෙරෙහි පවා දේව ඇදහීමේ බලපෑම පැහැදිලි වේ.

    සීතාවක රජ සමය මෙරට දේව වන්දනය සහ බුදු දහම කෙරෙහි සුවිශේෂ සමයකි. එනම් සීතාවක රාජසිංහ රජු ශිව සමය වැළද ගැනීම හා බුදු සසුන කෙරෙහි රජු විසින් කළ විවිධ පීඩාවන් හි ප්‍රතිඵලය වූයේ දේව වන්දනය තවදුරටත් සමාජය තුළ මුල් බැස ගැනීමය. රජුගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් භික්ෂුන් වහන්සේලා උපැවදි වීම, පන්සල් විනාශ වී කෝවිල් නැගී ඒම වැනි කාරණාවන් සිදු විය. මෙම වකවානුවේ දී ශ්‍රි පාදය පවා ශිව භක්තිකයින්ගේ අතට පත් වීම වැනි කාරණාවන් සිදු විය.

    කෝට්ටේ යුගයේ දී සිදු වූ පෘතුගීසි ආක්‍රමණයන් සමඟ ක්‍රිස්තියානි ධර්මය මෙරට තුළ ව්‍යාප්ත වීම ද දේව වන්දනයට රුකුලක් විය. ක්‍රිස්තු දේවත්වය පිළිගත් නව දේවවාදී පිරිසක් මෙරට බිහිවීම එතුළින් සිදු විය. සීතාවක යුගයේ සිටි ප්‍රමුඛතම ලේඛකයා වන අලගියවන්න මුඛවෙටි පවා ක්‍රිස්තු සමය වැළද ගැනීම සහ ඔහු විසින් රචනා කළ දෙවියන් වහන්සේට, ක්‍රිස්තු ස්වාමීන්ට හා එතුමන්ගේ කන්‍යාමරි මතාවට නමස්කාර කොට ඇරඹිම දේව වන්දනය නව ප්‍රවේශයකින් යුතුව ජන විඥ්ඥානයට ආමන්ත්‍රණය කිරීම සිදු විය.

    මහනුවර යුගය වන විට රාජ අනුග්‍රහය සහිතව දේව වන්දනය සිදු විය. දේශපාලනිකව දේවතා වන්දනය කෙරෙහි ලැබුණු අනුග්‍රහයන් එයට මූලිකවම හේතු විය. බුදුන් සමයේ සතරවරම් දෙවිවරු ලෙස සැලකු ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන දෙවිවරු වෙනුවට උපුල්වන් (විෂ්ණු), සමන්, බොක්සැල්, විභිෂණ යනුවෙන් නව දෙවිවරු සතරක් සම්භාවනාවට පත්වීම මෙසමයේ දී සිදු විණි. දැඩිමුණ්ඩ, සත්පත්තිනි, කළුකුමාර, පිටියේ දෙවි, අයියනායක, වීරමුණ්ඩ වැනි ඉන්දීය සම්භවයක් සහිත දෙවිවරුත්, මංගර දෙවි, හන්තානේ දෙවි, දොළහ දෙවි, බෝගම්බර දෙවි වැනි දේශිය යැයි සැලකෙන දෙවිවරුද මෙකළ පුද පූජාවන්ට පාත්‍ර විය.

    මහනුවර යුගයේ දී නායක්කාර වංශිකයන්ගේ බලාධිකාරිය දේව වන්දනයට මනා පිටුවලක් විය. මෙසමයේ දී එක් පිරිසක් හින්දු හා ක්‍රිස්තු දේව ඇදහිල්ල සෘජුව ඇදහීම සිදු කළ අතර සිංහල බෞද්ධ ජනයා බෞද්ධ මුහුණුවරකින් යුතුව දේව ඇදහීම සිදු කළේය. මෙකළ භික්ෂුන් පවා දේව වන්දනයට යොමු වූ අතර දෙවියන් සහ මිනිසුන් අතර අතරමැදියන් ලෙස ද භික්ෂුන් කටයුතු කළේය.

    රොබර්ට් නෝක්ස් දුටු ලංකාවේද දේවාල කපුවන් දෙවන පූජක පක්ෂය වශයෙන් කටයුතු කළ බව සඳහන් කොට ඇත. ඔහු දක්වා ඇති ආකාරයට කපුවන්ගේත් සෙසු මිනිසුන්ගේත් අතර කිසිදු වෙනස්කමක් නොමැති අතර වෙනස නම් දේවාලයට යන විට ඉස් සෝදා නා පිරුවට ඇද පේවීමය.

    ප්‍රාග් බෞද්ධ යුගයට පෙර සිට මෙරට ජනයා අතර පැවති දේව වන්දනය පිළිබඳ කථිකාව පරිණාමය වී අද වන විට ජනප්‍රිය බුදු දහම තුළට දේව වන්දනයන්ගෙන් උකහාගත් ලක්ෂණ වල බලපෑම සමඟ සැබෑ බුදු දහම හා දේව වන්දනය වෙන් කර හඳුනා ගත නොහැකි තරමට පත් වී ඇත. එයින් සිදු වූ අහිතකර තත්වය නම් දේව වාදය යොදා ගනිමින් මිනිසුන් මිථ්‍යාව කෙරෙහි යොමු කරවීමය.

සටහන - දිනේෂ් ජයසිංහ

පොතපත ඇසුරිනි 


Read More

Monday, April 22, 2024

සුද්දොත් මට්ටු කළ මඩුවන්වෙල කළු කුමාරයා

April 22, 2024 0

 

 වීර සිංහලයෙකුගේ අභිමානවත් නවාතැන්පල වූ මඩුවන්වෙල වලව්ව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලයේ මඩුවන්වෙල ග්‍රාමයේ පිහිටා තිබේ. මේ අභිමානවත් ස්මාරකය කොලොන්න පුරවරයට පමණක් නොව මුළු මහත් ජාතියටම අභිමානයකි. අතීත අභීත ගාම්භීර බව කියාපාන ලක්ෂණ මහා පුරුෂයෙකුගේ පහස ලැබූ එබිමෙහි අද ද දක්නට ලැබේ.

    වර්ෂ 1844 සැප්තැම්බර් මස 11 වන දින ජන්මලාභය ලැබූ ''මඩුවන්වෙල විජයසුන්දර රාළහාමිගේ ශ්‍රිමත් ජේමිස් විලියම් මඩුවන්වෙල'' කුඩා කළ සිටම දඩබ්බර සෘජු ගතිගුණ වලින් යුතු එහෙත් මිනිසුන්ට බෙහෙවින් ආදරය කළ අයෙකු විය. එවකට මෙරට පාලනය කළ ඉංග්‍රිසින් අතර මෙන්ම ජනතාව අතර ද මෙතුමා ලංකාවේ කළු කුමාරයා ලෙස ප්‍රචලිත වීමට ද එම ගතිගුණ බලපා ඇත. උපතින් උත්තුංග දේහධාරියෙකු නොවුව ද උපතින්ම හිමි වූ තේජස් පෙනුමක් එතුමන් සතු විය. ඒ සියල්ලටම වඩා වීර ගති ඇති සිතක් සතුවූ මෙතුමා කොළොන්න කෝරලයේ මිනිසුන්ගේ ගැලවුම්කරුවා විය.

    ඒ වන විට මෙරට පාලනය කළ ඉංග්‍රිසීන්ගේ විවිධ පීඩාවන්ට ලක්වෙමන් මෙරට ජනයාට දිවි ගෙවන්නට සිදුව තිබිණි. නමුත් තම පාලන ප්‍රදේශය වූ කොලොන්න කෝරලයේ දී සුද්දන්ගේ අණසක ක්‍රියා කරවන්නට ඉඩක් මේ අසහාය මිනිසාගෙන් නොලැබිණි. එය මේ ප්‍රදේශයේ ජනයාට මහත් අස්වැසිල්ලක් විය.

එක් අවස්ථාවක රත්නපුර දිසාව භාරව අලුතින් පැමිණි සබරගමු මහ ඒජන්තවරයා මඩුවන්වෙල දිසාවේ බැහැ දැකීමට පැමිණෙන බවට ලැබුණු පණිවිඩයක් අනුව ඒජන්තවරයා පිළිගැනීම වෙනුවෙන් සංග්‍රයක්ද සූදානම් කරගෙන මග බලා සිටිය ද ඒජන්තවරයා නියමිත වෙලාවට මඩුවන්වෙල වලව්වට පැමිණ නැත. 

''අර සුද්දා මොකා වුණත් මට කමක් නෑ. සුද්දෙක් නම් කියපු වෙලාවට වැඩ කරන්න ඕන. මේ මිනිහා පල් හොරෙක්. අල්ලලා අර සියඹලා ගහේ බැඳපල්ලා''

ප්‍රමාද වී පැමිණි සුදු ඒජන්තවරයාට සිදු වූයේ වලව්වේ මිදුලෙහි ඇති සියඹලා ගසෙහි එල්ලි සීටිමටය.

තත්වය තරාතිරට කුමක් වුවත් වරදට දඬුවම් කිරීමට මඩුවන්වෙල දිසාවේ කිසි විටෙක පැකිලුණේ නැත. තවත් අවස්ථාවක අවසරයකින් තොරව තම වැයික්කියට ඇතුල් වූ සුදු ඒජන්ත වරයෙකුට දිසාවේ අපූරු පාඩමක් උගන්වා ඇත.

''මොනව මගේ අවසරයක් නැතුව සුද්දෙක් ආවා. ඌ එලවලා දාපල්ලා. යන්නේ නැත්තම් ගස් බැඳපල්ලා. ''

    ඒ මඩුවන්වෙල කළු කුමාරයාගේ නියෝගයයි. එලෙස ඳඩුවම් ලබා ඇත්තේ එසේ මෙසේ අයෙකු නොව රත්නපුර දිසාව භාර ඒජන්තවරයෙකු බව දිසාවේද දැන ගන්නේ පසුවය. එම සිදුවීම පිළිබඳව පසුව ප්‍රශ්න කළ සුදු ඒජන්තවරයාට දිසාවෙගෙන් ලැබුණේද එඩිතර බව කියාපාන පිළිතුරකි.

''මඩුවන්වෙල නින්දගමේ ප්‍රධානියා හැටියට මම මගේ වැයික්කියට යන එන ඕනෑම කෙනෙක් තමුන් යන එන බවට මගෙන් අවසරයක් ගන්න ඕන. අවසර නැතුව එන කෙනෙකුට හිරිහැර විදීමට ලැබීම ස්වාභාවික දෙයක්''

    මේ ආකාරයට බ්‍රිතාන්‍ය  පාලනයට අභියෝග කළ මඩුවන්වෙල දිසාවේ සමඟ අර්බුධ ඇති කර ගැනීමට බ්‍රිතාන්‍යයන් ද දෙවරක් සිතා ඇත. එතරම්ම දැඩි පුද්ගලයෙකු වූ මඩුවන්වෙලගේ හැසිරීම පිළිබඳ බ්‍රිතාන්‍යයන් ද හොදින් දැන සිට ඇත. එමෙන්ම මඩුවන්වෙල දිසාවේ සතුව ආයුධ සන්නද්ධ සේවක බලඇණියක් සිට ඇති අතර ඉංග්‍රිසින් මඩුවන්වෙල දිසාවෙට අභියෝග නොකිරීමට එයද හේතුවක් වී ඇත.

     අයුක්තිය අසාධාරණය හමුවේ දැඩි පුද්ගලයෙකු වුවද තම නවාතැන වූ මඩුවන්වෙල වලව්වට පැමිණෙන කාට වුව ද සත්කාර සංග්‍රහ කිරීම මඩුවන්වෙලගේ සිරිතකි. ඉංග්‍රිසීන් සමඟ වුවද ගැටුම් ඇති කර ගත්ත ද තම සත්කාර සංග්‍රහ ඔවුන් වෙනුවෙන් පවා සිදු කිරීමට තරම් මානුෂීය ගුණාංග මෙතුමන් සතුව තිබි ඇත.

    අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරයේ ආරම්භකයෙකු වූ මෙතුමා සිය ජීවිතයේ අවසන් මොහොත එන තෙක්ම ආගම දහමට ලැදිව තම වැසියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරමින් අභිමානවත් ජීවිතයක් ගත කර ඇත. ඔහුගේ වියෝවෙන් දශක ගණනක් ගත වුවද ප්‍රදේශවැසියන්ගේ ගරු බුහුමණන් ලබන්නේ ඔහු සතුව තිබූ පෞරුෂය මෙන්ම ඔහු සතුව තිබු උතුම් මානුෂිය ගුණාංග නිසා වන්නට ඇත.

සටහන - දිනේෂ් ජයසිංහ

Read More

Sunday, April 21, 2024

එහෙම මරන්න පුලුවන්ද ?

April 21, 2024 0

 

 සීසර් මට ඇලුම් කළ නිසා මම ඔහු වෙනුවෙන් වැලපෙමි.

ඔහු වාසනාවන්ත වූ නිසා මම සන්තෝෂ වෙමි.

ඔහු වීරයකු වූ නිසා මම ඔහුට ගරු කරමි.


නමුත් ඔහු රජ වන්නට තැත්කල නිසා මම ඔහු මරා දැම්මෙමි.




මෙම සටහන පසුගිය දිනක සමාජ මාධ්‍යයේ කවුරුන් හෝ පල කර තිබී මගෙ ඇස ගැටිණි . එහි තිබූ අශ්වාදනීයත්වය නිසාම  මේ සටහන ලියමි. 

ලෝක ඉතිහාසයේ  සිදු වූ  දේශපාලන ඝාතන පිළිබඳ  අප අසා ඇති අතරම එවැනි සිදුවීම් අලලා බිහිවූ නිර්මාණ ද ඕනෑ තරම් තිබේ. ඒ අතරින් ඝාතකයා උත්තුංග චරිතයක් බවට පත් කල ජුලියස් සීසර් නාට්‍ය විලියම් ශේක්ස්පියර් නම් වූ ශ්‍රේෂ්ට නාට්‍යකරුවා අතින් බිහි වූ අග්‍රගණ්‍ය කලා කෘතියකි.

දේශපාලන ඝාතනයක් සාධාරණිකරණය කිරීමත් ඝාතකයා උත්කෘෂ්ට ලෙස සැලකීමත් කොතරම් දුරට උචිතදැයි ඔබට සිතෙන්නට පුලුවනි. නමුත් ශේක්ස්පියර් නාට්‍ය රචනා කලේ ජීවත්වන්නවුන් සදහාය. ඝාතනය සිදු වී හමාරය. නමුත් ජීවත්වන්නවුන් ඒ දෙස බැලිය යුත්තේ කෙසේද? ඔහුගේ අභිප්‍රාය  එය විය. 


සීසර් නාට්‍ය තුළින් මනුෂ්‍යයකු සතුව පැවතියහැකි  යහගුණ මෙන්ම දුර්ගුණ  ද හුවා දක්වමින් එකී ගුණාංග පුද්ගලයන්ගේ දුර්භාග්‍යට හේතුවන ආකාරය හේතුවාදී මෙන්ම භෞතිකවාදී පදනමකින් විශ්ලේෂණය කරයි.

නාට්‍ය එසේය. බෘටස් යනු සීසර් ගේ හිතවතාය

විශ්වාසවන්‍තයාය..

ඔහු සීසර්ව ආරක්ෂා කලේය..

නමුත් ඔහු ඊටත් වඩා රෝමයට ආදරය කලේය


සීසර් ඝාතනය කළයුතු  බව තීරණය කරන බ්රෑටස් එය කල යුත්තේ "දේව පුජාවකට සතෙක් බිලිදෙනවා වැනි පිරිසිදු හැගීමකින් බව පවසයි." මන්ද ඔහුට අවශ්‍යය වූයේ සීසර් නොව සීසර්ගේ ඒකාධිපතිත්වය නසා දැමීමයි.

පුද්ගලිකත්වය අමතක කර රටක සැබෑ අභිවෘද්ධිය අපේක්ෂා කරන දේශපාලන නායකයින් විරල සමයක බෘටස්ලා  සාධාරණිකරණය කළයුතු නොවේද ?

දිනෙන් දින මඩ ගොහුරුවක්ව පවතින වත්මන් දේශපාලනයේ ද ජනතාව ලෙස අප වෛරී ලෙස පුද්ගලයන්ට හෙන ඉල්ලා පලක් නැත.

පටු පුද්ගල අරමුණවලින් තොරව පුද්ගලයා නොව මතවාදය නසා දැමීමට එක්වනු මිසක.. ?..

-දුමා-


Read More

Saturday, April 20, 2024

රිද්දියාගය ශාන්තිකර්මය සහ සමාජ සන්නිවේදනය

April 20, 2024 0

   


 දේශිය සංස්කෘතිකාංගයන් තුළ අන්තර්ගත සුවිශේෂි අංගයක් ලෙස ශාන්තිකර්ම පද්ධතිය හැඳින්විය හැකිය. එක් අතකට දේශිය නර්තන සම්ප‍්‍රදායයන් හි තිඹිරිගෙය වන්නේද මෙම ශාන්තිකර්මයන්ය. සුවිශේෂි හෙළ කලාංගයක් ලෙස ශාන්තිකර්ම තුළ සමාජ, සංස්කෘතිමය, කලාත්මක වටිනාකම් රාශියක් දක්නට ලැබේ. ඒවා පිළිබඳ අප නිසි ඇගයීමකින් යුතුද යන්න ප‍්‍රශ්නාර්ථයකි.

    අධ්‍යතනයේ දී බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මුල් කර ගනිමින් දිවි ගෙවීමට හුරුව තිබුණ ද අතීත සමාජය තුළ පාරම්පරිකව පැවති ආ අධ්‍යාපන, විද්‍යාත්මක, සෞඛ්‍ය, සංස්කෘතික ආදී ලෙසට අපටම ආවේණික වූ වටිනාකම්, දැනුම් පද්ධතියක් තිබිණ. නමුත් සමාජය හා සංස්කෘතිය  තුළ කාලානුරූපව සිදු වූ වෙනස්කම් සම`ග එම හර පද්ධතින් වෙනුවට වෙනත් ක‍්‍රම ශිල්ප කෙරෙහි සමාජය යොමු විය. විශේෂයෙන්ම බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මත යැපීමට අප හුරු පුරුදු විය. 

  • සුසන්ත විදානගමගේ ගුරුතුමන් 
  •         වත්මනේ දී හුදු කලා, සංස්කෘතිකාංගයක වටිනාකම පමණක් ශාන්තිකර්ම සම්බන්ධයෙන් ඉතිරිව තිබුණ ද අතීතයේ දී ශාන්තිකර්මයක් වටා වටිනාකම් රාශියක් ගොනු වී තිබිණි. මිනිසා කෙරෙහි වැළදෙන්නා වූ කායික මානසික පීඩාවන්, විවිධ අතුරු ආන්තරාවන් වලදී ශාන්තිකර්ම තුළින් හෙළයා ලැබූ සහනය සු`ඵපටු නොවේ. එමෙන්ම යහපත් සමාජ සත්වයෙකු ලෙස මිනිසා සමාජගත කරවීමේ දී ද ශාන්තිකර්මයන් තුළින් සිදු වූ සේවය සු`ඵ පටු නොව්. අතීත සමාජයේ පැවති මෙවැනි වටිනාකම් මිථ්‍යාමත හෝ විද්‍යාත්මක නොමැති යැයි බැහැර කළ නොහැක. මන්දයත් මේ සියල්ල නිර්මාණය වීම තුළ විද්‍යාත්මක, කලාත්මක, සමාජ විද්‍යාත්මක වටිනාකම් රාශියක් අන්තර්ගත වී ඇති බව විමර්ශනාක්ෂියෙන් යුතු අධ්‍යයන් තුළින් පැහැදිලි වී ඇති නිසාවෙනි.

        පහතරට නර්තන සම්ප‍්‍රදායේ මාතර සහ බෙන්තර යන අනු සම්ප‍්‍රදායද්වයෙහි අන්තර්ගත සුවිශේෂී ශාන්තිකර්මයක් වන රටයකුම හෙවත් රිද්දි යාගය ශාන්තිකර්මය සමාජ සන්නිවේදනය ලක්ෂණයන් බහුලව අන්තර්ගත ශාන්තිකර්මයකි. ඒ පිළිබඳව කෙටි අධ්‍යයනයක් මෙම ලිපියෙන් අපෙක්ෂා කෙරේ. 

        රටයකුම හෙවත් රිද්දි යාගය ශාන්තිකර්මය පහතරට නර්තන සම්ප‍්‍රදාය තුළ කාන්තාවන් විෂයෙහි සිදු කරනු ලබන එකම ශාන්තිකර්මයයි.(කෝට්ටගොඩ,2001) මෙම ශාන්තිකර්මය තුළින් මානසික චිකිත්සාවක් මෙන්ම සමාජය කෙරෙහි වටිනාකම රාශියක් සම්පේ‍්‍රෂණය කිරීමට හෙළ කලාකරුවන් සමත් වී තිබේ. එනිසා මෙය වඩාත් සුවිශේෂි ශාන්තිකර්මයක් ලෙස දැක්විය හැකිවේ. 

        සෑම කාන්තාවක් සහ පුරුෂයෙක් සමාජ සම්මතයන්ට අනුව විවාහපත් වීමෙන් පසුව ඊළ`ග අපෙක්ෂාව වන්නේ නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමයි. එහෙත් විවිධ කායික මානසික දුර්වලතා හේතුවෙන් මෙම අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි වන අවස්ථාවන් වත්මන් සමාජයේ මෙන්ම අතීත සමාජයන් තුළ ද දක්නට ලැබිණි.  වත්මනේ දී මෙවැනි කායික මානසික දුර්වලතාවන් සඳහා බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර, ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම  ඕනෑතරම් දක්නට ලැබේ. තවද විවිධ මිථ්‍යා විශ්වාසයන් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන අවස්ථාවන් පිළිබඳවද  ඕනෑ තරම් දක්නට ලැබේ. 

        වඳ ස්තී‍්‍රන් දරුවන් ලබා ගැනීම වෙනුවෙනුන්, දරුවන් පිළිසිදෙන නමුත් අතුරු ආන්තරාවලට ගොදුරු වී ගැබ අතර මග විනාශ වන කාන්තාවන්ගේ ගැබෙහි ආරක්ෂාවට හා යහතින් දරු උපත සිදු වීමත් යන කරුණු අරඹයා රිද්දියාගයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතයි.(කෝට්ටේගොඩ,2001)

        විල්ලොඩි පුරවර රන්ගිරිකූටය පළාගෙන එහි හටගත් දුමාරයෙන් හා ගිනිපුපුරු වලින් රිද්දි බිසවුන් බිහි වුණ බව කියැවේ. මුදුන්මාල, ධර්මමාල, ගිරිමේඛල,  ඕන්කාර, රනකපාල, කොණ්ඩමාල, එර්දි යනු එම බිසවුන් සත් දෙනාගේ නම්ය. මෙම බිසවුන්ට දරුවන් නොමැති බැවින් වඳ බිසවුන් ලෙසද හඳුන්වා ඇත. ක`ඵකුමරුන් විසින් රිද්දි බිසවුන්ට වඳභාවය ඇති කළ බවත් නෛමිත්තකයන්ගේ උපදෙස් පරිදි හේනක් කොටා කපු වපුරා එම කපුවලින් නොයිදුල් ස`ඵවක් වියා දීපංකර බුදුන්ට පූජා කිරීමෙන් දරු ගැබ් ඇති වූ බවත්, බිසුවන්ට ඇතිවූ පි‍්‍රතියට ආභරණ ඇල්ලෙ දිය කෙළියට ගිය බිසුවන් රොඩියෙකුගේ ස්පර්ශය හේතුවෙන් ආභරණ ඇල්ලෙන් පැන දිවි නසා ගත් බවත් දරුවන්ට ආලයෙන් මිය ගොස් රිද්දි යක්ෂණියන් ලෙස ඉපිද කාන්තාවන් කෙරෙහි උවදුරු ඇති කරවන බවත් රිද්දියාගයේ උපත් කතාවෙන් කියැවේ. 

        මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර පවසන ආකාරයට සාම්ප‍්‍රදායික සන්නිවේදනයේ ප‍්‍රධාන මෙවලම ශාන්තිකර්ම ලෙස හැඳින්විය හැකිය (ලොකුලියන,2001) නර්තන, ගානයන හා වාදන අංගයන්ගෙන් පරිපූර්ණ සංස්කෘතිකාංගයක්, කායික මානසික චිකිත්සාවක් යන ගුණාංග මෙන්ම රට යකුම ශාන්තිකර්මය තුළ සාර සන්නිවේදන ලක්ෂණ රාශියක් අන්තර්ගත වේ. සන්නිවේදන අධ්‍යයනයේ දී හඳුනාගන්නා සාම්ප‍්‍රදායික සන්නිවේදන අංග ශාන්තිකර්ම, ජනශ‍්‍රෑති ආදීයෙන් යුක්ත වේ. ජන විඥානයට වඩා හොඳින් බලපෑම් කිරීමට හැකි වූ සන්නිවේදනාංගයක් ලෙස ශාන්තිකර්ම වලට අතීත සමාජය තුළ දී පුම‍්‍රඛස්ථානයක් හිමි විය. 

    යම් කිසි සන්නිවේදන කාර්යයකින් අපේක්ෂා කරන්නාවූ අරමුණු කිහිපයකි. 

    1. තොරතුරු සන්නිිවේදනය
    2. විනෝදාස්වාදය
    3. අධ්‍යාපනය
    4. පෙළඹවීම
    5. සාමාජානුයෝජනය

        යන ඒවා සන්නිවේදන කාර්යයක දී ප‍්‍රමුඛ ලෙස අපේක්ෂා කෙරේ. මෙහි දී රට යකුම් ශාන්තිකර්මය තුළ සාර සන්නිවේදන අංග අන්තර්ගත වී ඇති ආකාරය විමසා බලමු.

        හුුදු නර්තනාංගයක්, දේව ඇදහිල්ලක් බවට පමණක් සීමා නොවී සමාජයේ පැවතුණු මිථ්‍යා මත, විශ්වාස, දේව ඇදහිලි ආදිය පිළිබඳව අවබෝධයක් ලබා දීම, පුද්ගල මානසික සංවර්ධනය, සමාජ දේශපාලන අවබෝධය, පවුල් සැලසුම්කරණය පිළිබඳ දැනුම්වත්භාවය, පුද්ගල දුර්වලතා පිළිබඳ දැනුම්වත්භාවය, සිරිත් විරිත්, ගැටුම් සමතයකට පත් කරගන්නා ආකාරය ආදී වූ මනා සමාජ ජීවිතයකට අවශ්‍යවන්නා වූ දැනුම නිර්මාණාත්මක අයුරින් සන්නිවේදනය කිරීම දේශීය ශාන්තිකර්ම තුළින් සිදු විය. එමෙන්ම මෙම සාර සන්නිවේදන ලක්ෂණ බොහෝමයක් රටයකුම ශාන්තිකර්මය තුළ අන්තර්ගතය. 

        රට යකුම ශාන්තිකර්මයේ දී දෙබස්, රූපණ, ප‍්‍රහසනය, නාට්‍යමය අවස්ථා, වේෂ නිරූපණය, රංග භාණ්ඩ ආදිය යොදා ගනිමින් පණිවිඩය ග‍්‍රාහකයා හෙවත් ශාන්තිකර්මය නරඹන්නා වෙත ඉතා පහසුවෙන් ග‍්‍රහණය නැතොත් අවබෝධ කර ගත හැකි මෙන්ම එය සිතට කාවදින ලෙස සන්නිවේදනය කිරීමට හෙළ කලාකරුවා සමත්විය. 

        රටයකුම ශාන්තිකර්මයේ අන්තර්ගත නානුමුරය, දරු නැලවිල්ල, කපුයක්කාරිය යන නාට්‍යමය පෙළපාලි සාර සන්නිවේදන ලක්ෂණ මැනවින් නිරූපණය කරනු ලබන අවස්ථාවන් වේ.  

        කුඵඳුල් දරුවා ලැබීමට සිටින්නාවූ කාන්තාවක් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද විවිධ පීඩාවන්ට ලක් වීම සාමාන්‍ය තත්වයකි. වත්මනේ දී නම් මෙවැනි අවස්ථාවන් හි අවශ්‍ය කරන්නා වූ උපදෙස් ලබා දීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්, එම ක්ෂේත‍්‍රය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, මානසික උපදේශන වැඩසටහන් ආදී බොහෝ දේවල් බහුලය. නමුත් අතීත සමාජය තුළ දී එවැනි පහසුකම් සන්නිවේදන විධි අල්ප විය. එමෙන්ම එම සමාජය තුළ ලිංගිකත්වය හා සම්බන්ධ මෙවැනි කාරණාවන් වීවෘතව කතා කිරීම ද සිදු නොවීය. එම සියලූ අවශ්‍යතාවයන් සපුරාලීමේ ප‍්‍රධාන සන්නිවේදන ක‍්‍රමවේදය වූයේ රිද්දියාගය ශාන්ති කර්මයයි.

        ඇතැම් විටෙක ලිංගික ජීවිතය සම්බන්ධ උපදෙස් දීමට තරම් දෙමව්පියෝ වැඩිහිටියෝ ඉදිරිපත් නොවෙති. රිද්දි යාගය කිසියම් විවාහක යුවලකට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමටත්, ඒ තුළින් දරුවන් ලබා ගැනීමටත් හැකි වන ආකාරයේ පසුබිමක් සකස් කර දෙයි (කෝට්ටගොඩ,2001)

        රිද්දියාගයේ නානුමුරය නැතහොත් නානුමුර මංගල්‍යය පෙළපාලියෙන් ද ලිංගික කාර්යයට සූදානම් වන කාන්තාවක් ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය නිරූපණය කර දක්වයි. තම ස්වාමීයා එකී ලිංගික කාර්යයට ආසක්ත කර ගැනීම සඳහා නා පිරිසිදු වී, සුවඳ විලවුන් ගල්වා, මුහුණේ අංජන ගල්වා අලංකාර වන අයුරු කාන්තා ලාලිත්‍යය මැනවින් පෙන්නුම් කර අයුරින් මෙම නාට්‍යමය පෙළපාලිය ඉදිරිපත් කරයි. 

        නානුමුරය ලිංගික කාර්යයට සූදානම් වීමක් බැව් අගවන මහාචාර්යය තිස්ස කාරියවසම් මහතා ‘‘හිමියන් වෙත යන කල ආභරණ පැළඳ සුවඳ ඇ`ග ගල්වාගෙන පට පිළියෙන් සැරසී ශි‍්‍රයා කාන්තාව ලෙසින් යා යුත්තීය’’ යනුවෙන් කාව්‍යශේකරයෙන් අදහස් ගෙනහැර දක්වයි (කෝට්ටගොඩ,2001)

        ඒ අනුව නානුමර පෙළපාලිය තුළින් ආතුර කාන්තාව වෙත සන්නිවේදනය කර ඇත්තේ තම හිමියා ලිංගික කාර්යය උත්තේජන කර ගනිමින් මනා සම්භෝගයක් පවත්වා ගැනීම අවශ්‍ය වන බවය. දරුවන් නොලැබීම නිසාවෙන් ඇය තුළ යම් චිත්ත පීඩාවක් ඇති වී ඇත්නම් එය සුව කර ගනිමින් නැවත සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමට ඇය තුළ උනන්දුවක් නානුමුරය තුළින් ඇති කොට තිබේ. මෙවැනි කාරණා සමාජයේ බහුල කාරණාවන් නමුත් විවෘත කතා කිරීමට නොපෙළඹෙන කාරණාවන් ය. එනිසාවෙන් අතීත සමාජයේ දී ශාන්තිකර්ම තුළින් සිදුවූ මෙම සන්නිවේදන කාර්යය ඉතාමත්ම වැදගත් ය.

        ස්වාභාවයෙන් ම දරුවන්ට සෙනෙහසක් ඇල්මක් නොදක්වන කාන්තාවන් ද සමාජය තුළ සිටිය හැකිය. කාන්තාවක තුළ පවත්නා දරු ස්නේහය ද දරුවෙකු පිලිසිඳ ගැනීමේදී මානසික වශයෙන් බලපෑමක් කරනු ලබයි. වත්මනේ දී ද දරුවන් නොමැති කාන්තාවන් පිටතින් දරුවකු ගෙන උස්මත් කර හදාවඩාගත් පසුව ඇයගේම දරුවන් ලැබූ අවස්ථා  ඕනෑතරම් දක්නට ඇත. මෙම සංසිද්ධිය හඳුනා ගත් හෙළ කලාකරුවා රිද්දියාගය තුළදී දරු නැළවිල්ල නාට්‍යමය පෙළපාලිය තුළින් ආතුර කාන්තාවගේ හදවත තුළ දරු සෙනෙහස ඇති කිරීමට සමත්විය. එහි දී දරුවා නහවා පිරිසිදු කරගන්නා ආකාරය, දරුවා පවුඩර් දමා සුවදවත්ව තබන අයුරු ආදිය මෙන්ම මව්කිරි දීමේ වැදගත්කම ද නාට්‍යමය ස්වරූපයෙන් සන්නිවේදනය කර ඇත. මෙවැනි දේ ආතුර කාන්තාවට පමණක් නොව බලා සිටින්නාවූ අනෙකුත් කාන්තාවන්ට ද තම ජීවිතයට වැදගත් වේ. 

        කෙලගැල්මක් වත් ඇති වෙයි ද දැන්නෑ ........ මේ දරුනැලවිල්ලේ දී දරුවාට කිරිදෙන විට මවගේ භුමිකාව ර`ග දක්වන ශිල්පියාගේ ප‍්‍රකාශයකි. මෙය යම් පිරිසක් ඉදරිපිට දී දරුවකුට කිරිදෙන කාන්තාවක් සැලකිලිමත් විය යුතු සරල කාරණාවක් වුවද අපූරු ලෙස සන්නිවේදනය කර ඇත.

        තවද ශාන්තිකර්ම භූමියට රැුස්වී සිටින ඥාති හිත මිත‍්‍ර පිරිසට දරුවා පෙන්වා තෑගි බෝග ලබා ගැනීමේ අවස්ථාවක්ද දරු නැළවිල්ලේ අන්තර්ගතය. මා පියන් විසින් හදන වඩන දරුවා ඊළගට යොමු වන්නේ සමාජයටය. එහිදී දරුවෙකුට අවශ්‍ය ආදරය, රැුකවරණය සමාජය තුළින් ලබා දිය යුතු බවට මෙහිදි සන්නිවේදනය කර ඇත.

        දරුවන් ලබා ගැනීමට රි්ද්දි බිසවුන් කපු වගා කර එයින් ලැබෙන කපුවලින් නොයිදුල් සලූවක් වියා ලොව්තුරා බුදුන්ට පූජා කිරීමෙන් පසුව දරු ඵල ලැබූ ආකාරය නිරූපණය කරන කපුයක්කාරීය ව්‍යාංගාර්ථවත් සන්නිවේදන ලක්ෂණ වලින් යුක්තවේ. 

        දරු සම්පත් නොලැබීමට ස්තී‍්‍රන්ගේ මෙන්ම පුරුෂයින්ගේ කායික මානසික දුබලතා බලපානු ලබයි. එහෙත් බොහෝ විට මෙවැනි අවස්ථාවන් හි දී බොහෝ විට අවධානය යොමු වන්නේ කාන්තාව දෙසටය. නමුත් අතීත ශාන්තිකර්ම ශිල්පියා මෙම තත්වය මැනවින් අවබෝධ කර ගෙන ඒ සඳහා යෙදු පිලියමක් ලෙස කපුයක්කාරීය පෙළපාලිය දැක්විය හැකිය. එනම් මෙහි දී ආතුර කාන්තාවගේ ස්වාමියාද පැදුරේ වාඩිකරවා සලූව වියන්නට එකතු පහදු කර ගනියි. එතුලින් පුරුෂයාගේ මනසට කාන්තාව සමග සමගියෙන් සමාදානයෙන් අදාල කාර්යයන් සඳහා උනන්දු විය යුතු බව ව්‍යාංගයෙන් සන්නිවේදනය කර තිබේ. 

        කපු වැපිරීම සඳහා හේන් කෙටීමට සූදානම් වන බිසව සිය සැමියෙගෙන් කිසිදු අත් උදව්වක් නොලැබෙන බවත් තනි තනිව මෙම වැඩවල යෙදීම අපහසු බවත් දක්වයි. බිසව තනිව මෙම වැඩවල යෙදෙද්දිත් සැමියා කා බී ලිප් බොක්කට වී නිදා ගන්නා බව පවසයි. ඇතැම් තැනෙක තම්බපු වට්ටක්කා යැයි පවසමින් වඩු මාමාගේ වඩු මඩුවෙහි තිබුණු ගී‍්‍රස් ගිල දමන බව පැවසීමෙන් හැගීයන්නේ ඔහුට සාමාන්‍ය අවබෝධය පවා නැති බවයි (කෝට්ටගොඩ, 2001)

        මේ ආකාරයට නිරෝගී දරු සම්පත් ලබා ගැනීමට කාන්තාවක සහ පිරිමියෙකු කායික හා මානසික වශයෙන් සූදානම් කිරීම මෙන්ම. දරු සම්පතක ඇති වටිනාකම. ලිංගික ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය ලිංගික සෞඛය පිළිබඳ දැනුම, දරුවන් කෙරෙහි වැඩිහිටියන් වශයෙන් ලබා දිය යුතු සමාජ අවධානය ආදී කාරණාවන් පිළිබඳව සාර සන්නිවේදනයක යෙදීමට රිද්දියාගය ශාන්තිකර්මයේදී ශාන්තිකර්ම ශිල්පියා සමත් වී ඇති බව පැහැදිලිවේ. හුදු නර්තන ගායන වාදන අවස්ථාවකින් ඔබ්බට ගිය සන්නිවේදන ලක්ෂණ රිද්දියාගය තුළ අන්තර්ගත බව පැහැදිලිය.


    සටහන - දිනේෂ් ජයසිංහ

    මූලාශ‍්‍ර 

    සම්භාව්‍ය නර්තක සමීක්ෂා, ජයසේන කෝට්ටගොඩ,2001.

    ජන සන්නිවේදනය හා සමාජය, විමල් දිසානායක,1976.

    නිර්මාණාත්මක සන්නිවේදන ප‍්‍රවණතා, සුනන්ද්‍ර මහේන්ද්‍ර,2001.

    ශාන්තිකර්ම සන්නිවේදනය, ලොකුලියන,2001.

    අන්තර්ජාල වීඩියෝ


    Read More

    Friday, April 19, 2024

    දේශීය නර්තනයේ අධ්‍යාපනික සංවර්ධනය හා ව්‍යාවහාරය

    April 19, 2024 0

      ජන විඥානය, සිතුම් පැතුම්, සමාජ ආකල්ප, සංස්කෘතික,ආර්ථික, දේශපාලන ප‍්‍රපංචයන් හි කාලානුරූප වෙනස් වීම සමස්ථ සමාජය කෙරෙහි විවිධ බලපෑම් එල්ල කරනු ලැබීය. මෙය දේශීය අධ්‍යාපනය සම්බන්ධව ද ඇති වූ පොදු තත්වයකි. කාලාන්තරයක් තිස්සේ මෙරට තුළ පැවති අධ්‍යාපන ක‍්‍රමවේදයන් හි සිදු වූ වෙනස්කම් සමඟ පරම්පරා ගණනාවක් තිස්සේ පැවති නර්තන අධ්‍යාපනයෙහි ද විශාල වෙනස්කම් රැසක් සිදු විය. එලෙස ඇති වූ වෙනස්කම් දේශීය නර්තනයේ පැවැත්මට, ප‍්‍රගමනයට මෙන්ම නර්තනය හා බැඳී තිබු සද්පරමාර්ථ කෙරෙහි අහිතරකර බලපෑම් ද ඇති කිරීමට සමත්විය.


     ගුරු ගෘහීය නර්තන අධ්‍යාපන ක‍්‍රමය කාලානුරූපව බිඳ වැටීමත් සමඟ  නර්තන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් ඇති විය. විශේෂයෙන් ම අවිධිමත් අධ්‍යාපන ලක්ෂණ පෙන්නුම් කරමින් පැවත ආ, විවිධ වෙනස්කම් සහිතව පුළුල්  පරාසයක විසිරි පැවති දේශීය නර්තනයේ සුවිසල් දැනුම් සම්භාරය ප‍්‍රමිතිගත විධිමත් විෂය මාලාවන් සහිතව අධ්‍යාපන පද්ධතියට එක් වීම ක‍්‍රමයෙන් සිදු විය. එය අධ්‍යාපනික වශයෙන් ඇති වූ සාධනීය තත්වයකි. 

        නර්තන පරම්පරාවන් සතුව පැවති නර්තන දැනුම බොහෝ සෙයින් එක් තැනකට ගොනු වීම, කාන්තාවන්ට නර්තනයේ අවස්ථා හිමි වීම, ප‍්‍රාසංගික කලාවක් වශයෙන් දේශීය නර්තනය වර්ධනය වීම වැනි කාරණාවන් කෙරෙහි මූලික අඩිතාලම දේශීය නර්තන සම්ප‍්‍රදායයන් අධ්‍යාපන පද්ධතිය සමඟ එක් වීම තුළ සිදු විය. 

        අධ්‍යාපනික වශයෙන් දේශීය නර්තනයේ සිදු වූ පරිණාමය අධ්‍යයනය තුළින් එහි සුවිශේෂී අවස්ථාවන් රාශියක් හඳුනා ගත හැකිය.

    1913 ‐ 1938 කාල වකවානුවේ කරන ලද අධ්‍යාපනිත ප‍්‍රතිසංස්කරණ වලින් ආරම්භ කරන ලද හන්දෙස්ස ග‍්‍රාමීය අධ්‍යාපන ක‍්‍රමයේ දී පාසල් විෂය මාලාවට විවිධත්වයක් එක් කිරීම සඳහා ප‍්‍රායෝගික විෂයයන් කිහිපයක් ඇතුළත් කරන ලදි.

    සෞඛ්‍ය
    පරිසරය පිළිබඳ අධ්‍යයනය
    වෘත්තිය පුහුණුව 
    රසික අධ්‍යයනය (චිත‍්‍ර,නැටුම්,සංගීත)

        යන විෂයයන් එලෙස පාසල් පද්ධතියට එකතු කළේය. නර්තනය විෂයක් වශයෙන් පාසල් පද්ධතියට එක් වීමේ මූලික අඩිතාලම මෙම අධ්‍යාපන සංස්කරණයන් ය. පසු කාලීනව විවිධ විෂය මාලා, විභාග ක‍්‍රම, අධ්‍යයන ක‍්‍රම සහිතව දියුණු තත්වයට පත් වූයේ මෙම අරම්භයයි. රසික අධ්‍යයනය නම් විෂයේ එක් කොටසක් ලෙස පාසල් පද්ධතියට එක් වූ නර්තන විෂය අධ්‍යතනයේ පවතින වර්ධනීය තත්වයට පත් වීමට පසු කළ පියවර බොහෝ වෙති.

        1933 වර්ෂයේ ඊ. ඒ දෙල්ගොඩ මහතා විසින් කහවත්ත ප‍්‍රදේශයේ සබරගමු නැටුම් ඉගැන්වීම සඳහා පාසලක් විවෘත කිරීම සුවිශේෂී සිදුවීමකි. නර්තන අධ්‍යාපනය පුළුල් වීමට ලැබුණු තවත් අනගි උත්තේජනයක් ලෙස කි‍්‍ර:ව 1934 දී ලංකාවට පැමිණි භාරතීය මහා කලාකරු රවින්ද්‍රනාත් තාගෝර්තුමා විසින් නර්තනය ඉගැන්වීම සඳහා හොරණ කපුකුලවත්තේ ශි‍්‍ර පාලි විද්‍යාලයේ ප‍්‍රධාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම දැක්විය හැකිය. ශි‍්‍ර ලාංකික ලලිත කලා අධ්‍යාපන ඉතිහාසයේ අතිවිශිෂ්ඨ සංසිද්ධිය ආරම්භ වූයේ 1935 අගෝස්තුවේ දී මරදානේ ආනන්ද විද්‍යාලය දේශීය නර්තනය කෙරෙහි දැක් වූ ආකල්ප නිසාය. එනම් ආනන්ද බාලිකා විද්‍යාලයේ දී විනිෆි‍්‍රඞ් සිල්වා මෙනවියගේ මූලිකක්වයෙන් යුතුව දේශීය නර්තනය ඇසුරෙන් නිර්මාණ ඉදිරිපත් කිරීම සිදු විය. එය දේශීය නර්තනයට අධ්‍යාපනික වශයෙන් විශාල වටිනාකමක් ලැබුණු සුවිශේෂි අවස්ථාවකි. 

        මෙවැනි සංසිද්ධීන් නිසා ලාංකේය සමාජයේ දේශීය නර්තන සම්ප‍්‍රදායයන් පිළිබඳව තිබූ ආකල්ප වෙනස් කිරීමය සමත් විය. බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් පාරම්පරික නර්තන සහ භේරි වාදන ශිල්පීන් සතුව පැවති ඉපැරණි කලා ශිල්ප අගේකොට සැලකීම හේතු කොට ගෙන, එකී යුගයේ ලංකාවේ ස්ථාපිත වූ ඉංගි‍්‍රසි උගත් ලාංකේය නව සමාජය ද දේශිය නර්තන කලාව පිළිබඳ දැක්වූ ආකල්ප අනුක‍්‍රමයෙන් වෙනස් කර ගැනීමට හේතු විය. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ නර්තන විෂය පිළිබඳව තිබූ අවධානය වර්ධනය විය.

        1936 දී ලංකා ගාන්ධර්ව සභාව නමින් ස්වභාෂා මණ්ඩලයක් පිහිටුවා ආරම්භ කළ ගාන්ධර්ව විභාගය එවකට ලංකාවේ නර්තන විෂය වෙනුවෙන් පවත්වනු ලැබූ ප‍්‍රථම හා එකම විභාග ක‍්‍රමය විය. ලංකා ගාන්ධර්ව සභාව පිහිටුවීමේ පරමාර්ථ අනුව ඒ තුළින් ලාංකේය නර්තන අධ්‍යාපනයට ලැබුණු පිටුවහල ඉතාමත් හොඳින් අවබෝධ කර ගත හැකි වනු ඇත. 

        මේ ආකාරයට නර්තන අධ්‍යාපනය සඳහා විවිධ උත්තේජනයන් ක‍්‍රමයෙන් ඇති විය. පාසල් වල නර්තන විෂය ප‍්‍රථමයෙන්  ආරම්භ කරන ලද්දේ 1934 දී ය. එහි දී නර්තනය ඉගැන්වීම සඳහා කලායතන ගුරුවරුන් යොදා ගත් අතර 1936 දී සංගීත නැටුම් විශේෂ ගුරුවරු ඒ සඳහා පත් කිරීමට යොජනා කර ඇත. 

        1945 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව ම`ගින් නර්තන විෂය සඳහා පරික්ෂක වරයෙක් ලෙස පත් කරනු ලැබූ එස්. එල්. බී කපුකොටුව මහතාගේ කැපවීම නර්තන අධ්‍යාපනයේ ප‍්‍රගමනයට සුවිශේෂි දායකත්වයක් දැක්විය.

        1948 නිදහස ලැබීමෙන් පසුව යටත් විජිතකරණයට ලක්ව තිබූ සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී වූ සෑම අංශයක් වෙතම එම නිදහස දැනෙන්නට විය. ඒ අනුව ඉන් පසුව ඇති කරනු ලැබූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් නිදහසට පෙර තිබූ තත්වයට වඩා ප‍්‍රමුඛ අවස්ථාවන් නර්තන විෂය සම්බන්ධව ඇති විය. එතෙක් පාසල් විෂය මාලාවේ විශේෂ තැනක් හිමි කරගෙන තිබූ බටහිර සංගීතය හා නැටුම් වෙනුවට පෙරදිග සංගීතය හා උඩරට නැටුම් පාසල් විෂය මාලාවට ඇතුළත් කෙරිණි.  පාසල් පද්ධතියට නර්තනය අධ්‍යාපනික විෂයක් වශයෙන් ඇතුළත් වූවා මෙන්ම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ද නර්තන විෂයේ පැවැත්මට මහෝපකාරි විය. 

        1952 ජූලි 01 වැනි දා එවකට මුදල් අමාත්‍යය ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් හොර්ටන් පෙදෙසේ ජාතික කලායතන භූමියේ දී ම නැටුම් හා නාට්‍ය පාඨමාලා උත්සව ශී‍්‍රයෙන් ආරම්භ කරන ලදි. මෙම ආරම්භය ක‍්‍රමිකව විශ්වවිද්‍යාලයක් දක්වා වර්ධනය වූයේ එකල සිටි නර්තන ශිල්පීන්ගේ ඉමහත් කැපවීම මත බව නර්තන ඉතිහාසය සාක්ෂ්‍ය දරනු ඇත. ඒ අනුව රජයේ ලලිත කලායතනය 1953 ජූලි 07 අංශ තුනක් යටතේ ආරම්භ විය. පසුව 1953 ඔක්තොම්බර් 01 සංගීත හා නැටුම් විද්‍යාලය ඇල්බට් චන්ද්‍රවංකයට ගෙන එනු ලැබිණි. මෙකළ රජයේ ලලිත කලායතනයට සිසු සිසුවියන් සහභාගි කරවා ගැනීම ආරම්භක සමයේ දී දුෂ්කර වී ඇත. මෙයට හොඳම නිදසුන වන්නේ එවකට මීරිගම රජයේ පාසලේ සිසු සිසුවියන් පිරිසක් පෙරවරුවේ පාසල් අධ්‍යාපනය ලබා අනතුරුව පස්වරුවේ කොළඹ කලායතනයට පැමිණ නැටුම් ඉගෙන ගැනීමේ පුවතයි. කෙසේ නමුත් මෙම ආයතනය 1960 රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය නමින් ද, 1974 මැයි 01 දින ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය නමින් ද ඉන් පසු 1980 ජනවාරි 01 දින කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්යය අධ්‍යාපන ආයතනය නමින්ද ප‍්‍රතිසංවිධානය විය. ආරම්භයේ දී උඩරට නැටුම පමණක් ඉගැන් වූ මෙම ආයතනය1960 දශකයේ දී පහතරට නැටුම් ඉගැන්වීම ද, 1970 දශකයේ දී සබරගමු නැටුම් ඉගැන්වීම ආරම්භ කිරීම ද විෂය ක්ෂේත‍්‍රයේ වැදගත් සිද්ධියක් ලෙස දැක්විය හැකිය. 2005 වසරේ දී මෙය සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය නමින් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් විය. වත්මනේ දී ලාංකේය නර්තන අධ්‍යාපනයේ ප‍්‍රමුඛත ආයතනය වන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි.

        1972 දී රජයේ පාසල් වලට සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්යය කිරීම හා නර්තන ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය ආරම්භ කිරීම නර්තන අධ්‍යාපනයට සුවිශේෂි අවස්ථාවකි. මේ සමඟ  වඩා විධිමත් අයුරින් පාසල් පද්ධතිය තුළ නර්තන අධ්‍යාපනය සිදු වීම මෙන්ම නර්තන විෂය පිළිබඳ වැඩි අවධානයක් යොමු වීම සිදු විය. එහි තවත් දිගුවක් ලෙස 1978 දී උසස් පෙළ විෂය මාලාව සඳහා ද නර්තනය එක් කරනු ලැබිණි. 1986 දී ජාතික අධ්‍යාපන ආයතනය යටතේ සෞන්දර්යය දෙපාර්තමේන්තුව පිහිටුවා විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ ආදිය සකස් කිරීම තුළ විවිධ නර්තන පරම්පරාවන් යටතේ පැවත ආ නර්තන අධ්‍යාපනය වඩා පොදු පිළිගැනිම් නිර්නායක යටතේ සකස් වී නර්තන අධ්‍යාපනය යම් දුරකට ඒක මිතියකට පත් විය.

        පාසල් පද්ධතිය තුළ නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම නිසා සිදු වූ වැදගත් කාර්යයක් ලෙස ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ දී ප‍්‍රායෝගික පක්ෂයට පමණක් සීමා වී තිබුණු නර්තන අධ්‍යාපනය වෙනුවට ඉගැන්වීම් ක‍්‍රමවේද වෙනසකට භාජනය වීමයි. එතෙක් පැවතුණ ප‍්‍රායෝගික විෂයක ඉගැන්වීම් ක‍්‍රමය වෙනස් කරමින් න්‍යායාත්මක කරුණුද ඊට ඇතුළත් විය. මෙම තත්වය පසුකාලීනව නර්තන විෂයට අදාල ප‍්‍රාමාණික උගතුන් බිහි වීම හා නව සංකල්ප බිහි වීමට බොහෝ සෙයින් හේතුකාරක වන්නට ඇතැයි සිතිය හැකි වේ. 

        ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය යටතේ සීමිත පිරිසකට පමණක් හිමි වූ නර්තන අධ්‍යාපනය පාසල් අධ්‍යාපන පද්ධතියට එක් වීම සුවිශේෂි සංසිද්ධියකි. වත්මන වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, හොරණ ශි‍්‍ර පාලි මණ්ඩපය, ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාල ප‍්‍රමුඛ වෙමින් උපාධි, පශ්චාත් උපාධි මට්ටට දක්වා නර්තන විෂයෙන් උසස් අධ්‍යාපන අවස්ථා බිහි කර ඇත. තවද වත්මන වන විට නර්තන අධ්‍යාපන ඉතා පු`ඵල් පරාසරයක විහිද යමින් පර්යේෂණ, සංවාද, නව නර්තන විධි, න්‍යායන් ආදිය පිළිබඳ අවධානය යොමු වෙමින් අධ්‍යයනයන් සිදු කරමින් පවතියි.

    සටහන දිනේෂ් ජයසිංහ


    මූලාශ‍්‍ර

    ආශි‍්‍රත ග‍්‍රන්ථ හා ලිපි


    නර්තනය හා ශි‍්‍ර ලාංකේය ගුරු කුල සම්ප‍්‍රදාය, වෛද්‍යවතී රාජපක්ෂ, ලලිත කලා සාර සංග‍්‍රය - 3.

    ශි‍්‍ර ලංකාවේ නර්තන විෂය ක්ෂේත‍්‍රය හා සම්බන්ධ පාසල් විභාග ක‍්‍රම එහි අභිවෘද්ධියට හේතුවක් වීද ?, ධම්මිකා ලංකාතිලක, ලලිත කලා සාර සංග‍්‍රහය - 3.

    පැරණි ශි‍්‍ර ලංකාවේ නර්තන ගුරු කුලයේ හි පැවති අධ්‍යාපනික සංස්කෘතික කි‍්‍රයාවලි වෙනස් වීටම බලපෑ සමාජ පසුබිම, වෛද්‍යවතී රාජපක්ෂ, නර්තන චින්තා.

    ශි‍්‍ර ලාංකික නර්තනයේ විකාශනය, තිස්ස කාරියවසම්.

    රංගන පළමුවැනි කාණ්ඩය, තැන්වැනි කලාපය, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශාස්තී‍්‍රය සංග‍්‍රහය

    රුහුණු නැටුම් සිද්ධාන්ත, කාලිංග ඔබේවංශ 

    ශී‍්‍ර ලංකාවේ පාසල් ක‍්‍රමයෙන් බාහිර අධ්‍යාපනය.


    (අධ්‍යාපන කටයුතු සඳහා අවැසි ලෙස උපුටා ගන්න, මෙම ලිපිය වෙනත් තැනක පල කරන්නේ නම් කතෘ අයිතිය ලබා දීමට කාරුණික වන්න)

    Read More

    Post Top Ad

    Your Ad Spot