වීර සිංහලයෙකුගේ අභිමානවත් නවාතැන්පල වූ මඩුවන්වෙල වලව්ව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලයේ මඩුවන්වෙල ග්‍රාමයේ පිහිටා තිබේ. මේ අභිමානවත් ස්මාරකය කොලොන්න පුරවරයට පමණක් නොව මුළු මහත් ජාතියටම අභිමානයකි. අතීත අභීත ගාම්භීර බව කියාපාන ලක්ෂණ මහා පුරුෂයෙකුගේ පහස ලැබූ එබිමෙහි අද ද දක්නට ලැබේ.
වර්ෂ 1844 සැප්තැම්බර් මස 11 වන දින ජන්මලාභය ලැබූ ''මඩුවන්වෙල විජයසුන්දර රාළහාමිගේ ශ්‍රිමත් ජේමිස් විලියම් මඩුවන්වෙල'' කුඩා කළ සිටම දඩබ්බර සෘජු ගතිගුණ වලින් යුතු එහෙත් මිනිසුන්ට බෙහෙවින් ආදරය කළ අයෙකු විය. එවකට මෙරට පාලනය කළ ඉංග්‍රිසින් අතර මෙන්ම ජනතාව අතර ද මෙතුමා ලංකාවේ කළු කුමාරයා ලෙස ප්‍රචලිත වීමට ද එම ගතිගුණ බලපා ඇත. උපතින් උත්තුංග දේහධාරියෙකු නොවුව ද උපතින්ම හිමි වූ තේජස් පෙනුමක් එතුමන් සතු විය. ඒ සියල්ලටම වඩා වීර ගති ඇති සිතක් සතුවූ මෙතුමා කොළොන්න කෝරලයේ මිනිසුන්ගේ ගැලවුම්කරුවා විය.
ඒ වන විට මෙරට පාලනය කළ ඉංග්‍රිසීන්ගේ විවිධ පීඩාවන්ට ලක්වෙමන් මෙරට ජනයාට දිවි ගෙවන්නට සිදුව තිබිණි. නමුත් තම පාලන ප්‍රදේශය වූ කොලොන්න කෝරලයේ දී සුද්දන්ගේ අණසක ක්‍රියා කරවන්නට ඉඩක් මේ අසහාය මිනිසාගෙන් නොලැබිණි. එය මේ ප්‍රදේශයේ ජනයාට මහත් අස්වැසිල්ලක් විය.
එක් අවස්ථාවක රත්නපුර දිසාව භාරව අලුතින් පැමිණි සබරගමු මහ ඒජන්තවරයා මඩුවන්වෙල දිසාවේ බැහැ දැකීමට පැමිණෙන බවට ලැබුණු පණිවිඩයක් අනුව ඒජන්තවරයා පිළිගැනීම වෙනුවෙන් සංග්‍රයක්ද සූදානම් කරගෙන මග බලා සිටිය ද ඒජන්තවරයා නියමිත වෙලාවට මඩුවන්වෙල වලව්වට පැමිණ නැත.
''අර සුද්දා මොකා වුණත් මට කමක් නෑ. සුද්දෙක් නම් කියපු වෙලාවට වැඩ කරන්න ඕන. මේ මිනිහා පල් හොරෙක්. අල්ලලා අර සියඹලා ගහේ බැඳපල්ලා''
ප්‍රමාද වී පැමිණි සුදු ඒජන්තවරයාට සිදු වූයේ වලව්වේ මිදුලෙහි ඇති සියඹලා ගසෙහි එල්ලි සීටිමටය.
තත්වය තරාතිරට කුමක් වුවත් වරදට දඬුවම් කිරීමට මඩුවන්වෙල දිසාවේ කිසි විටෙක පැකිලුණේ නැත. තවත් අවස්ථාවක අවසරයකින් තොරව තම වැයික්කියට ඇතුල් වූ සුදු ඒජන්ත වරයෙකුට දිසාවේ අපූරු පාඩමක් උගන්වා ඇත.
''මොනව මගේ අවසරයක් නැතුව සුද්දෙක් ආවා. ඌ එලවලා දාපල්ලා. යන්නේ නැත්තම් ගස් බැඳපල්ලා. ''
ඒ මඩුවන්වෙල කළු කුමාරයාගේ නියෝගයයි. එලෙස ඳඩුවම් ලබා ඇත්තේ එසේ මෙසේ අයෙකු නොව රත්නපුර දිසාව භාර ඒජන්තවරයෙකු බව දිසාවේද දැන ගන්නේ පසුවය. එම සිදුවීම පිළිබඳව පසුව ප්‍රශ්න කළ සුදු ඒජන්තවරයාට දිසාවෙගෙන් ලැබුණේද එඩිතර බව කියාපාන පිළිතුරකි.
''මඩුවන්වෙල නින්දගමේ ප්‍රධානියා හැටියට මම මගේ වැයික්කියට යන එන ඕනෑම කෙනෙක් තමුන් යන එන බවට මගෙන් අවසරයක් ගන්න ඕන. අවසර නැතුව එන කෙනෙකුට හිරිහැර විදීමට ලැබීම ස්වාභාවික දෙයක්''
මේ ආකාරයට බ්‍රිතාන්‍ය පාලනයට අභියෝග කළ මඩුවන්වෙල දිසාවේ සමඟ අර්බුධ ඇති කර ගැනීමට බ්‍රිතාන්‍යයන් ද දෙවරක් සිතා ඇත. එතරම්ම දැඩි පුද්ගලයෙකු වූ මඩුවන්වෙලගේ හැසිරීම පිළිබඳ බ්‍රිතාන්‍යයන් ද හොදින් දැන සිට ඇත. එමෙන්ම මඩුවන්වෙල දිසාවේ සතුව ආයුධ සන්නද්ධ සේවක බලඇණියක් සිට ඇති අතර ඉංග්‍රිසින් මඩුවන්වෙල දිසාවෙට අභියෝග නොකිරීමට එයද හේතුවක් වී ඇත.
අයුක්තිය අසාධාරණය හමුවේ දැඩි පුද්ගලයෙකු වුවද තම නවාතැන වූ මඩුවන්වෙල වලව්වට පැමිණෙන කාට වුව ද සත්කාර සංග්‍රහ කිරීම මඩුවන්වෙලගේ සිරිතකි. ඉංග්‍රිසීන් සමඟ වුවද ගැටුම් ඇති කර ගත්ත ද තම සත්කාර සංග්‍රහ ඔවුන් වෙනුවෙන් පවා සිදු කිරීමට තරම් මානුෂීය ගුණාංග මෙතුමන් සතුව තිබි ඇත.
අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරයේ ආරම්භකයෙකු වූ මෙතුමා සිය ජීවිතයේ අවසන් මොහොත එන තෙක්ම ආගම දහමට ලැදිව තම වැසියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරමින් අභිමානවත් ජීවිතයක් ගත කර ඇත. ඔහුගේ වියෝවෙන් දශක ගණනක් ගත වුවද ප්‍රදේශවැසියන්ගේ ගරු බුහුමණන් ලබන්නේ ඔහු සතුව තිබූ පෞරුෂය මෙන්ම ඔහු සතුව තිබු උතුම් මානුෂිය ගුණාංග නිසා වන්නට ඇත.
සටහන - දිනේෂ් ජයසිංහ


No comments:
Post a Comment