Dakma - දැක්ම : dancing kanadyan dance sri lanaka dance lanka traditional dance

Hot

Post Top Ad

Your Ad Spot
Showing posts with label dancing kanadyan dance sri lanaka dance lanka traditional dance. Show all posts
Showing posts with label dancing kanadyan dance sri lanaka dance lanka traditional dance. Show all posts

Sunday, August 11, 2024

ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ කාන්තා දායකත්වය.

August 11, 2024 0

ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ කාන්තා දායකත්වය.

    

අනාදිමත් කාලයක සිට පැවත එන මානව නර්තනයේ සුවිශේෂ සන්දර්භයක් ලෙස ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායයන් හැඳින්විය හැකිය. මෙහි දී අප මූලිකවම උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායයන් අදහස් කරන්නෙමු. උක්ත නර්තන සම්ප්‍රදායත්‍රය තුළ කාන්තා දායකත්වය පිළිබඳව අධ්‍යයනය අතිශය වැදගත්ය. මන්දයත් පුරුෂ මූලික සමාජයකදී කාන්තාව නිරන්තරයෙන්ම  අවවරප්‍රසාදිත කුලකය නියෝජනය කරන බැවිනි. එය නර්තනය පමණක් නොව සියළු කලාවන්, ආගමික, සමාජීය යන පොදු සමාජ සංස්ථාවන් හි දී ඇය අවවරප්‍රසාදිත කුලකය නියෝජනය කර ඇති බව දැකිය හැකි පොදු තත්වයකි. 

    සාම්ප්‍රදායික දේශිය නර්තනය තුළ සංකල්පීය වශයෙන් කාන්තාව භාවිතා කර ඇති අවස්ථාවන් ද වෙති. නිදසුන් ලෙස පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවොල් මඩුව, රටයකුම වැනි ශාන්තිකර්ම තුළ පත්තිනි දේවතාවිය මූලික කරගනිමින් සහ අවශේෂ කර ගනිමින් පුද පූජා පවත්වයි. සබරගමු නර්තන සම්ප්‍රදායේ එන පහන්මඩුව ශාන්තිකර්මය තුළ ද පත්තිනි දේවතාවිය පිදුම් ලබයි. බිසෝ කප සිටුවීම, පත්තිනි නැටීම ආදී චාරිත්‍ර සහ නර්තන අංග ද මෙම ශාන්තිකර්මයන් හි අන්තර්ගත වීමෙන් සාම්ප්‍රදායික නර්තනයන් තුළ කාන්තාව සංකල්පීය භාවිතා කර ඇති ආකාරය අවබෝධ කර ගත හැකිය.

    විශේෂයෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායෙහි එන දිග්ගෙයි නැටුම වැනි කාන්තාවන් විෂයෙහි පමණක් සුවිශේෂි වන නර්තන අවස්ථාවන් සාම්ප්‍රදායික නර්තනය තුළ අන්තර්ගත වී තිබීම ද සුවිශේෂි ලෙස දැක්විය හැකිය. දිග්ගෙයි නර්තනය සමන් දේවාලයටම ආවේණික නර්තනයක් වනවා සේම සාම්ප්‍රදායික නර්තනය තුළද අන්තර්ගත නොවන ස්ත්‍රි රංගනයකි. (දිසානායක මුදියන්සේ, 2008) මෙම අවස්ථාව කාන්තාවන් විෂයෙහි නිර්මාණය වී තිබුණු එකම සාම්ප්‍රදායික නර්තන අංගය බවත් භාරතීය දේවදාසීන්ගේ ආභාෂයෙන් මෙම නර්තන අංගය නිර්මාණය වී ඇති බවත් විද්වත් මතයයි. කෙසේ නමුත් නර්තනය ස්ත්‍රීන්ට දැඩි ලෙස අකැප වී තිබු සංස්කෘතියක් තුළ දිග්ගෙයි නැටුම වඩා සුවිශේෂි වේ.

    නර්තන විකාශයෙහි ඵෙතිහාසික මූලාශ්‍ර තුළ කාන්තා නර්තන දායකත්වය පිළිබඳ යම් තොරතුරු ලබා ගත හැකි සාධක දුලබ නොවේ. ගල් කැටයම්, ලී කැටයම්, සිතුවම්, මූර්ති, සන්දේශ කාව්‍ය ආදිය තුළ කාන්තා නර්තනයන් පිළිබඳව සාධක බොහෝ වෙති. එම නර්තනයන් කුමන සම්ප්‍රදායට අයත් ඒවා වන්නේදැයි නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වුවද ඒ ඒ යුගයන්හිදි කාන්තාව නර්තන කලාවන් හා සම්බන්ධව සක්‍රිය ලෙස දායක වී ඇති බව එම සාධක සාක්ෂ්‍ය දරයි.

කෑගල්ල, අලවතුර ගනේගොඩ විහාරයේ පාදමේ ශෛලමය නළඟන රූ පෙළ.

ගම්පොල යුගයට අයත් ගඩලාදෙණිය විහාර පාදමේ නළඟන රූපාවලිය. 


බෙන්තර ගලපාත විහාරයේ ගල් උළුවස්සෙහි ඇති බෙර වාදක රූප, පිඹින ස්ත්‍රී රූප හා උඩරට නිළියකගේ රූප 






කෑගල්ල අම්බුඵගල ටැම්පිට විහාරයේ ගල් උඵවස්සෙහි නළඟන රූපයක් දක්නට ලැබීම.



ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් අතර සිව්රැස් පනේලයක ඇති භරත අරමණ්ඩියේ විලාශය පෙන්නුම් කරන නිළියකගේ රූපය.
කුරුණෑගල පනාපිටය අම්බලමේ කණුවක වෙස් බැඳි නැට්ටුවෙකුගේ හා නිළියකගේ කැටයම.






                                          කුරුණෑගල පනාපිටය අම්බලමේ කණුවක  කැටයම.
    

මුල්කිරිගල විහාරයේ ඇති වාද්‍ය භාණ්ඩ වාදනය කරන නළගන රූප.


  • මිහින්තලේ සිංහපොකුණු කටට උඩින් නළගන රූපයක් දක්නට ඇත .
  • අනුරාධපුර කුට්ටම් පොකුණෙන් නළගනකගේ නර්තන විලාශයක් දැක්වෙන ලෝකට මූර්තිය.
  • දැදිගම කොටවෙහෙරේ සූතිඝර චෛත්‍යයෙන් හමුවූ ඇත් පහනෙහි නළගන රූපයක් දක්නට ඇත .
  • අනුරාධපුර යුගය - කොරවක්ගල ලෙන් ලිපියේ නටන ගහපතියාගේ දුව විසින් පවරා දෙන ලදි යනුවෙන් සටහන් වේ.
  • පොළොන්නරු යුගය - පාලමොට්ටායි සෙල්ලිපියට අනුව නළලෙහි සලකුණු තබා දේවදාසින් 7 දෙනෙකු පිදු බවත් ඔවුන්ට තැන්පත් කළ මුදලක පොලියෙන් කාසි ගෙවු බව සඳහන් වේ.

ගම්පොල යුගය - තිසර සන්දේශය (14 වන සියවස)

නිලූපුල් දිගැසී තන රණ           කලසී
විදුලිය සදිසී සියුමැලි                දිගැසී
ර`ග බැස නොලසී ර`ග දෙන     විලසී
දුටු එම විගසී මද තෙම              ඇවිසී

කෝට්ටේ යුගය - සැළලිහිණි සන්දේශය
විදෙන ලෙලෙන නරු බර පුඵලූකුල  රැදී
හෙළන නගන අත නුවනග බැලූම්   දිදී
රුව දිලෙන අභරණ කැඵම ගත                යෙදී
සැලෙන පහන සිඵ වැනි රගන ලිය සැදී

ලකල පුඵලූකුල බැඳි මිණි          මෙවුල්ලා
සමග රන් සළඹ රැවු දී  වෙවුල්ලා
වයන පදට තබමින් පද   කමල්ලා
රගන ලඳුන් බල රූ සිරි   සියල්ලා

කෝට්ටේ යුගය - පරෙවි සන්දේශය

ලෙළදුන් නව තඹ පලූ වන් පාදේ
තබමින් නිවරද මද්දල නාදේ
ගයමින් පානා ගීයෙන් කීදේ
අගනන් රග දුටුවන් සිත පෑදේ

ලෙළෙවනා දිගු නෙත නිලූපුල       සේයා
ලෙළ පවනින් රන් ලිය  විලසේයා
නළගන රගනා දැක      නොලසේයා
නළගන නුවනත ර`ග සැලසේයා

ගම්පොළ යුගය - 14 වන සියවස
දෙවුන්දර උපුල්වන් දේවාලයේ මිනිස් ප‍්‍රමාණ උස දෙව්රුවක් අබියස පන්සීයක් පමණ හින්දු බාලිකාවන් ගී ගයා නැටූ බව ඉබන් බතූතාගේ වාර්තාවන්හි දක්වා ඇත.

මහනුවර යුගය - විමලධර්මසූරිය රජ සමය
මහනුවර පෙරහැරේ රූමත් තරුණියෝ ලස්සනට නටත්. ඔවුන්ගේ උඩුකය නග්න වූ අතර යටිකය වැඩ දැමූ වස්ත‍්‍ර ඇත්තේය යනුවෙන් ලන්දේසි ජාතික ස්පිල් බර්ජන් තම වාර්තා තුළ දක්වා ඇත.

මහනුවර යුගය - දෙවන රාජසිංහ රජ සමය
එහි දේවාල විහාරවල තේවාව සඳහා නියම වූ කුලවලින් පැමිණ කළගෙඩි සෙල්ලමේ යෙදෙන නළගනෝ වෙත්. ඔවුන් හට නියම වූ විවිධ වූ කී‍්‍රඩා කරමින් තුන්දෙනා බැගින් අතිනත ගෙන රගන ස්ති‍්‍රහු වෙති

    මේ අකාරයට විවිධ මූලාශ‍්‍රයන් තුළ ශි‍්‍ර ලාකේය කාන්තාවගේ නර්තන දායකත්වය පිළිබඳ සාධක විශාල වශයෙන් හමුවුව ද සාම්ප‍්‍රදායික නර්තනයේ දී කාන්තා දායකත්වය ඉතාම අල්පය. තත් විෂය හදාරන්නෙකුට මෙය නිතැතින්ම ප‍්‍රශ්නාර්ථයක් විය යුතුය.

    මෙරට චෛතිහාසික කාන්තා නර්තන අනන්‍යතාවය එලෙස වුවත් ඉතිහාසයේ එක් සන්දිස්ථානයක දී නර්තනය හා කාන්තාව අතරට බෙදුම් රේඛාවක් පැමිණ තිබේ. එනම් කාන්තාවට නර්තනය තවදුරටත් උචිත දෙයක් නොවන බව සහ ශි‍්‍ර ලාංකේය සංස්කෘතියට අනුව උසස් කුල කතුන්ට එය තරම් නොවන බවට සංස්කෘතික සීමාවකට කාන්තා නර්තන හැකියාවන් සීමා වී ඇති බැව් පැහැදිලිය. විශේෂයෙන්ම පශ්චාත් යටත්විජිත සමයෙන් පසුව ඇතිවන වික්ටෝරියානු සංස්කෘතිකාභාෂයත් සමග මෙම තත්වය මෙරට සංස්කෘතිය තුළට එක්වූවායැයි සිතිම යුක්ති යුක්තය.

‘‘මහනුවර පෙරහැරේ රූමත් තරුණියෝ ලස්සනට නටත්. ඔවුන්ගේ උඩුකය නග්න වූ අතර යටිකය වැඩ දැමූ වස්ත‍්‍ර ඇත්තේය’’
 ලන්දේසි ජාතික ස්පිල් බර්ජන් 

    ඉහත පාඨය එක් යුගයක මෙරට නර්තනයේ කාන්තා දායකත්වය මෙන්ම එක් යුගයක මෙරට සංස්කෘතිය පිළිබඳවද යම් තත්වයක් අපහට විදාරණය නොකරන්නේද.

එලෙස නිදහස්ව පැවැති කාන්තා නර්තන විලාශයන් තවත් යුගයක මහනුවර දළදා පෙරහැරෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇත. කාන්තාවට දළදා පෙරහැර වත්මනේ දී පවා අවකාශ නොමැති තැනක් බවට පත්කරලීමට තරමට ප‍්‍රබලව සංස්කෘතික මතවාදයක් ගොඩනැගී ඇත. 

‘‘සිංහලයන් අතර පමණක් නොව සමහර ද්‍රවිඩයන් අතරද නැටුම් ගැන පැවති ආකල්ප සුහද නොවීය. නල්ලූර් හි කන්දස්වාමි කොවිලේ අයිතිය ගැන පැවරූ නඩුවක සාක්ෂ්‍යයක් හැටියට දේවාලයකට දෙවියන් වෙනුවෙන් කළ යුතු පංචකර්මය පැවැත්වීමට නිළියන් අවශ්‍ය වුවත් ඔවුන් වෛශ්‍යාවන් නිසා උත්සවාවස්ථාවට ද ඔවුන් සබභාගි කර නොගන්නා බවත් තමන්ගේ දරුවන්ට නැටුම සුදුසු වෘත්තියක් නොවන බවක් කියවිණි’’ (කාරියවසම් තිස්ස,1986)
ඉහත පාඨය ලාංකේය නර්තන කලාව තුළ කාන්තාවගේ අවවරප‍්‍රසාදිත භාවයට නිදසුන් සපයන්නකි. එනම් ඇයගේ නර්තනයෙන් නෙත් සිත් පිනවා ගත්ත ද සමාජයීය හෝ සංස්කෘතිකමය පිළිගැනීමක් ඇයට කිසි ලෙසක හෝ නොලැබිණි. 
යටත් විජිත සමයට පෙර මෙරට සාම්ප‍්‍රදායික දේශීය නර්තන සම්ප‍්‍රදායන්ගෙන් අවවරප‍්‍රසාදයට ලක් වූ කාන්තාවන් පශ්චාත් යටත් විජිත සමයෙන් පසුව මුඵමනින්ම පාහේ ඈත්ව ගොස් ඇති බැව් නර්තන ඉතිහාසය තුළින් කාන්තාව සැගවීම තුළ පැහැදිලිව පෙනී යයි. යටත් විජීත සමයේ මෙරට තිබුණු සමාජ හා දේශපාලනික තත්වයන් මෙන්ම පශ්චාත් යටත්විජිත සමයේ මෙරට තුළ මුල් බැස ගත් වික්ටෝරියානු සංස්කෘතියේ බලපෑම ආදිය මෙම තත්වයට සෘජු ලෙස බලපෑම් කර ඇත.

‘‘අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් උඩරට නැටුම් ප‍්‍රචලිත කිරීමට තැත් දැරුවද එයට බොහෝ බාධක මතුවී ආයේය. මාර්තු 27 කඩුගන්නාවේ පාසල් නැටුම් උත්සවය නැරඹු දන්තුරේ තරුණ ශිෂ්‍යයෝ පිරිසක් වැඩිවයට පත් ගැහැණු ළමයින්ට නැටුම් ඉගැන්වීමට විරුද්ධව ලියූහ’’ (කාරියවසම් තිස්ස,1986)

‘‘ප‍්‍රසිද්ධ ස්ථානවල බෙර ගසමින් පෙරහැරයාම තහනම්ව පැවති හෙයින් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට යෝජනාවක් මේ ගැන ඉදිරිපත් විය. මේ සම්බන්ධව තීරණයක් නොගැණුනද ගැහැණු ළමයින්ට නැටුම් ඉගැන්වීමට විරුද්ධ ව්‍යාපාර නැවත මතුවිය. 1937 අගෝස්තු 27 වැනි දින යාපනයේ උරුම්පිරේහි හින්දු ඉංගි‍්‍රසි විදුහලේ පැවති නැටුම් සංදර්ශනයකට ගල් ගැසීම ගැන නව දෙනෙකුට නීති මගින් කි‍්‍රයා කෙරිණි’’ (කාරියවසම් තිස්ස,1986)

කාන්තාව සහ නර්තන කලාව අතර ඇතිවු වියෝජනය නැවත ඒකරාශි කිරීමට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ මෙන්ම සමාජයේ ප‍්‍රභු යයි සම්මත පරම්පරාවන්හි කාන්තාවන් තුළින් ලැබුණූ දායකත්වය අතිමහත්ය. විශේෂයෙන්ම ඉන්දියුනු සංස්කෘතිය තුළ ඇති වූ වෙනස්කම් සමග මෙරට ගැහැණු දරුවන් සහ කාන්තාවන් නැවත නර්තන සම්ප‍්‍රදායයන් හැදෑරීමට මෙන්ම නැවත වේදීකාවන් තුළ තම නර්තන හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් වීම කාන්තාවට අහිමිව තිබු නර්තන අවකාශ්‍ය නැවත අත්පත් කර ගැනීමේ මූලාරම්භය විය. 

‘‘ඉන්දියාවේ පාසල්වල ගැහැණු ළමයින්ට සාම්ප‍්‍රදායික නැටුම උගන්වන බවට ඡුායාරූප පළ කිරීමෙන් ද සිංහල සමාජයටත් නැටුම පහත් පෙලේ කාර්යයක් නොවන බවට අවබෝධයක් ඇති කිරීමට උත්සාහ දරා ඇත’’(කාරියවසම් තිස්ස,1986)
‘‘ 1934 තාගොර්ගේ පැමණිමත්, 1935 දී උදයශංකර්ගේ හා මේනකාගේ පැමිණිමත් නිසා සම්භාවනාවක් නැටුමට ලත් බව පැවසු හර්ෂදේව නැටුම් කලාව පෝෂණය කිරීමට පාසලක් පිහිටුවිය යුතු යයි යෝජනා කළේය. කාන්තාවන්ට ද උඩරට නැටුම් ඉගෙනීමට එහි ඉඩතිබිය යුතු යයි යෝජනා කළේය’’(කාරියවසම් තිස්ස,1986)

    කාන්තාව හා නර්තනය පිළිබඳ විවාද සම්පන්න තත්වයන් පශ්චාත් යටත්විජිත සමයේදී මෙරට උගත් යයි සම්මත සමාජය තුළ බහුලවිය. එක් අන්තයක නර්තනය කාන්තාවන්ට උචිත නොවෙතැයි තර්ක කරන පසුබිමක කාන්තාව නැවත නර්තන කලාවට අවතීරණ කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කළ කාන්තාවන් කිහිපදෙනෙකු විය. මෙම කාන්තාවන් සමාජයේ පිළිගත් උසස් සමාජ පසුබිමකින් යුතු පවුල් පසුබිමකින් පැවත ඒම මොවුන්ට මහත් පිටුවහලක් විය. එනිසාවෙන් ඔවුන්ගේ කාර්යයන්ට සමාජයෙන් එල්ල වන අභියෝග වලින් ඔවුන්ට ආවරණයක් ලැබුණු අතර තවත් විටෙක ඔවුන් මෙරට කාන්තාවන්ට පුර්වාදර්ශද විය. මෙය පසුකාලිනව නර්තන කලාවට කාන්තාවන් අවතීර්ණ වීමටද හේතු පාදක විය. චන්ද්‍රලේඛා පෙරේරා, මීරියම් පීරිස්, වජිරා චිත‍්‍රසේන, මිරැන්ඩා හේමලතා වැනි නර්තන ශිල්පිනියන් මෙහිලා මූලිකත්වය ගනු ලැබූ අය ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත.

‘‘ කොළඹ විශ්වවිද්‍යාලයේ දී මාරයා හා ඔවුන්ගේ  දුවරු නමින් නැටුමක් චන්ද්‍රලේඛා හා මනුතාකර්එතනා සමග රගපෑමද විශේෂත්වයකි. ජේ. ඞී. ඒ පෙරේරා උසස් සමාජයේ වැජඹුණු කෙනෙකු හෙයින් පෙරේරා මහත්මිය රැගුම් දැක්වීම නිසා නැටුම ඔවුන් අතරට යන්නට ඇත’’(කාරියවසම් තිස්ස,1986)

    1934 -1940 කාලයේ මීරියම් පීරිස් මහත්මිය හිස වෙස් පැළඳීම මෙරට නර්තන ඉතිහාසය තුළ ආන්දොලනාත්මක සිදුවීමකි. කාන්තාවන්ට අහිමි වු නර්තන අවකාශය ලබා ගැනීමට කළ සටනෙහි තීරණාත්මක සිදුවීමක් වූ මෙම අවස්ථාව වත්මනෙහි ද විවාද සම්පන්න මාතෘකාවකි. එහි තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස 1948 දී සෝමබන්දු විද්‍යාපති මහත්මා විසින් වජිරා චිත‍්‍රසේන වෙනුවෙන් කාන්තාවන්ට උචිත අයුරින් උඩරට වෙස් ඇඳුම් කට්ටලය නිර්මාණය කිරීම ද දැක්විය හැකිය. 

    අධ්‍යතනය වන විට අතීත නර්තන අවකාශය තුළ පුරුෂයින් සතුව තිබූ අවස්ථා බොහෝමක සමස්ථාන ගැනීමට කාන්තාවන් සමත්වී තිබෙන බව දැකිය හැකිය. එනම් පුරුෂ පක්ෂයට වඩා නර්තන කලාව තුළ කාන්තාවන් දක්නට ලැබීම සුලභ තත්වයකි. ක‍්‍රම ක‍්‍රමයෙන් සමාජය තුළ මුල් බැසගෙන තිබූ සංස්කෘතික මතවාදයන්, සීමාමායිම් බිඳ වැටීම මෙයට හේතුවයි. එ කෙසේ නමුත් සාම්ප‍්‍රදායික නර්තනය තුළ කාන්තාවට තිබූ සීමා මායිම් එලෙසින් ආරක්ෂා කරමින් පවත්වා ගෙන යන්නේ කාන්තාවන්ගේ ද දායකත්වය තුළින්මය. 

සටහන - දිනේෂ් ජයසිංහ 

ආශ්‍රීත ග්‍රන්ථ 
ශ්‍රී ලංකික නර්තනයේ විකාශය තිස්ස කාරියවසම් 
සිංහල නර්තන කලාව මුදියන්සේ දිසානායක 

සේයාරූ 
දිනේෂ් ජයසිංහ 
අන්තරජාලයෙන් 








Read More

Thursday, May 2, 2024

ගුරු ගෙදර තුළ සුරැකි දේශීය නර්තනය

May 02, 2024 0

 දේශීය නර්තන සම්ප‍්‍රදායයන් වන උඩරට,පහතරට හා සබරගමු නර්තන සම්ප‍්‍රදායත‍්‍රය පිළිබඳ අධ්‍යයනයේ දී ඒවා අතීතයේ සිට වර්තමානය දක්වා අධ්‍යාපනික වශයෙන් ව්‍යාහාර වූ ආකාරය, එහි දී නර්තන සම්ප‍්‍රදායයන් හි සිදු වූ වෙනස්කම් ආදී බොහෝ කරුණු කාරණාවන් පිළිබඳව අවබෝධ කර ගත හැකිවේ.  වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළට නර්තන විෂය අන්තර්ගත වීමට පෙර දේශීය නර්තනයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව මෙහිදී අධ්‍යයනය කෙරේ.



  උඩරට,පහතරට හා සබරගමු යන දේශීය නර්තන සම්ප‍්‍රදායත‍්‍රයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන මූලිකම කරුණක් වන්නේ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පදනම් කර ගනිමින් මුල් කාලීනව අධ්‍යාපනිකව ව්‍යාවහාර වූ දේශීය නර්තනය පසුකාලීනව සමාජය තුළ සිදු වූ වෙනස්කම් වලට අනූරූප වෙමින් වත්මනේ පවතින අධ්‍යාපනික ව්‍යාවහාරය දක්වා වෙනස් වෙමින් පැමිණ ඇති බවය. මෙහි දී ගුරු ගෘහීය අධ්‍යාපනය යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිසියම් ශිල්ප ශාස්ත‍්‍රයක් ගුරුවරයාගේ නිවසේ සිට ඉගෙන ගැනීම හා ඉගැන්වීම යන්නයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ ප‍්‍රභවය ලැබූ පාරම්පරික නර්තන සම්ප‍්‍රදායය හා බැඳී පවතින ඉපැරණි චාරිත‍්‍රය වූයේ ශිෂ්‍යයන් ගුරුවරයාගේ නිවසේ නේවාසිකව සිට නර්තනය භේරි වාදනය ඇතුළු  සෙසු විෂයන් ඉගෙන ගැනීම හා අභ්‍යාසයේ යෙදීම වේ. (රාජපක්ෂ,2004)

    ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එහි වත්මන් අධ්‍යාපන ක‍්‍රම වල නොමැති සුවිශේෂතා රාශියක් දැක ගැනීමට හැකි වන බව පැහැදිලි කර ගත හැකි වේ. මෙකී අධ්‍යාපනයට කාලයක් හෝ විෂය සීමාවක් පනවා නොතිබීමෙන් නොවිධිමත් අධ්‍යාපනික ලක්ෂණ විද්‍යාමාන විය. ශිෂයෙකු ගුරු ඇසුරෙහි සිටින තාක් කල් ඔහුට ගුරුවරයා සතු වූ නෛසර්ගිකාංග ඉගෙනගැනීමට ලැබෙන්නේ ගුරුවරයා සමඟ  නිරතුරුව පුරුදු පුහුණ වීමෙනි.(ලංකාතිලක,2004) ශාන්තිකර්ම පද්ධතිය හා පවතින නර්තනාංග ගායනා විධි, සැරසිලි සහ කැටයම් කලාව චිත‍්‍ර සහ මූර්ති ශිල්පය, වාද්‍ය භාණ්ඩ සැකැස්ම, රංග භාණ්ඩ සහ වස්ත‍්‍රාභරණ සැකැස්ම ඇතුළු ප‍්‍රායෝගික කොටස් ඉගෙන ගැනීමේ දී ඒ තුළ පවතින හරබර ගතිය ගැඹුරු පදනමක් මත ඉගැන්වීම ගුරුකුල අධ්‍යාපනකරණයේ ප‍්‍රමිතිය විය. (රාජපක්ෂ,2004)

    අතීත ශි‍්‍ර ලංකාව තුළ පැවති සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමයේ පොදු ලක්ෂණ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමයට ද එකසේ අදාල විය. මෙබඳු ක‍්‍රමයක් තුළ පුද්ගලයාගේ සමාජානුයෝජනය ද ඔහුට යම් ශිල්පයක පුහුණුවක් ලබා දී යම් කර්මාන්තයකට හෝ වෘත්තියකට පිවිසවීම ද, සමාජයේ වටිනාකම් ඉගැන්වීම ද, සමාජයේ පොදු සමාජ සිරිත් විරිත් හා හැසිරීම් රටා පිළිගැන්වීම යනාදී මේ සියල්ල තනි ඉගෙනුම් පද්ධතියක අභේද්‍ය අංග විය. ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ නර්තන අධ්‍යාපනය ලැබීමට අදාල වන්නාවූ අවශ්‍යතාවයන් රාශියක් පූර්ණය කිරීමට ශිෂ්‍යයාට සිදු විය. ඉපැරණි යුගයේ ගුරුකුල සංස්ථා ආචාර්යවරු විසින් නර්තනය හා භේරි වාදනය ඉගැන්වීම සඳහා ගුරු කුලයට පාරම්පරික ශිෂ්‍යයන් භාර ගැනීමේ දී එකී කාර්යයන් සඳහා අවශ්‍ය වන අඟ පසඟ සහජ හැකියාව, චරිතය හැදියාව සහ ශිල්ප ඉගෙනීම සඳහා යෝග්‍ය ග‍්‍රහ පිහිටීම පිළිබඳ පරික්ෂාකිරීම පිළිවෙතකි. මෙය ලාංකේය සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය තුළ තිබුණු පොදු ක‍්‍රමවේදය විය. ඒ අනුව ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ සියලූ අංග ලක්ෂණ ඇතුළත්ව සාර්ථක අධ්‍යාපනයක් සිදු වූ බව සිතිය හැකි ය.

    ගුරුකුල අධ්‍යාපනය හා බැඳී පවතින ශිල්ප විධි සියල්ලම පාහේ මුඛ පාඨ වශයෙන් සහ ප‍්‍රායෝගික වශයෙන් ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට වර්තමානය දක්වා ආරක්ෂා කර ගැනීමට  හැකි වී ඇත්තේ ඉගැන්වීම් ක‍්‍රමවේදය සාර්ථකව පැවති බැවින් බව නිගමනය කළ හැකි ය. (රාජපක්ෂ,2004) මේ ආකාරයට එක් එක් ගුරු පරම්පරාවන් විසින් තම පරපුරට උරුම වූ දැනුම් සම්භාරය අනාගත පරපුරට සාර්ථක ලෙස දායාද කිරීම සිදු විය. ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ සිදු වූ අඩුපාඩුවක් ලෙස ගුරු මුෂ්ඨිය වශයෙන් යම් ශිල්ප කොටස් ගරුවරයා විසින් තම ශිෂ්‍යාට ලබා නොදීම දැක්විය හැකිවේ. මෙම ලක්ෂණය උඩරට, පහතරට හා සබරගමු යන සම්ප‍්‍රදායත‍්‍රයටම පොදු වූ අංග ලක්ෂණයකි.

    ගුරු ගෘහීය අධ්‍යාපනය මගින් බිහිවන නවක නර්තන ශිල්පීන් සමාජගත කිරීම ද ඉතා උසස් ආකාරයට අතීත අධ්‍යාපන ක‍්‍රමය තුළ සිදු විය. පහතරට හා සබරගමු නර්තන සම්ප‍්‍රදායයේ එකී අවස්ථාව මඩු බැසීම, කළ එළි මඩු බැසීම, කළ එළි බැසීම, කළ එළි මඩු මංගල්‍යය, මංගල මඩුව, කළ එළිය යන පදවලින් හැඳින්වේ. උඩරට නර්තන සම්ප‍්‍රදායේ මෙකී අවස්ථාව හිස වෙස් තැබීමේ මංගල්‍යය, හිස වෙස් බැඳීමේ මංගල්‍යය, වෙස් මංගල්‍යය, හිස වෙස් තැබීමේ නැකැත් මංගල්‍යය ආදී පදවලින් හඳුන්වනු ලැබේ.

     සියවස් ගණනාවක් තිස්සේ නර්තන කලාව මෙන්ම දේශීය දැනුම් පද්ධතිය ආරක්ෂා කර ගෙන පවත්වාගෙන ආ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පෘතුගීසි සහ ලන්දේසි පාලන ක‍්‍රමයන් යටතේ බිඳ වැටීම ආරම්භ විය. එය 1815 ඉංගි‍්‍රසි ආක‍්‍රමණයත් සමඟ වඩා ති‍්‍රව‍්‍රරව සිදු වන්නට විය. මෙරට සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන සියලූ අංග වලට ඉංගි‍්‍රසි ආක‍්‍රමණය එල්ල වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අප සතුව පැවති ගුරු ගෘහීය අධ්‍යාපන රටාව ක‍්‍රමයෙන් බිඳ වැටෙන්නට විය.

    වැඩවසම් සමාජ රටාව වෙනස් කිරීමට අවශ්‍ය වූ බි‍්‍රතාන්‍ය පාලකයින්ට ලාංකේය කලා ශිල්ප විධික‍්‍රම පවත්වා ගෙන ගිය ශිල්ප ශ්‍රේණි පිළිවෙත ද වෙනස් කිරීමට අවශ්‍ය විය. ලාංකේය අධ්‍යාපන ක‍්‍රමවේදය බිඳ වැටීමට විදේශිකයන්ගේ පාලන කි‍්‍රයාවන් ද හේතු විය. ගුරු ගෘහීය ශිල්පායතන සතුව පැවති පුස්කොල පොත් වෙස් මුහුණු සහ වාද්‍ය භාණ්ඩද ඇතැම් විදේශීය පාලකයන් විසින් රැගෙන ගොස් සුරක්ෂිත වන පරිදි විදේශීය කෞතුකාගාර වල තැන්පත් කර ගැනීමද ඒවා විනාශ කර දැමීමද සිදු විය. මෙම තත්වයන් ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමයේ පැවැත්මට අභියෝගයක් විය. එසේම ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය වෙනස් වීමත් සමඟ එතෙක් අධ්‍යාපන ක‍්‍රමය තුළ තිබූ යම් යම් සීමාවන් ඉවත් වීම ද සිදු විය. විවිධ සංස්කෘතික හා සමාජ සීමාවන් සමඟ සීමිත පිරිසකට පමණක් හිමි වී තිබු නර්තන අධ්‍යාපනය සැමට විවිර වීමේ කි‍්‍රයාවලිය ද ආරම්භ විය. 

    ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය බිඳවැටීම සමඟ දේශීය නර්තනයේ පැවති බොහෝ සිරිත් විරිත් මෙන්ම හර පද්ධතින් ද බිඳ වැටීමකට ලක්විය.  එමෙන්ම යම් සාධනී ලක්ෂණයන් ද නර්තන සම්ප‍්‍රදායයන් වඩා ගොඩනැගෙන්නට විය. ශාන්තිකර්ම සහ පුද පූජා විධි වලට පමණක් සීමා වී තිබූ දේශීය නර්තන සම්ප‍්‍රදායයන් ප‍්‍රාසංගික වශයෙන් වේදීකාවට උචිත ලෙස සකස් වීමේ ආරම්භය ගුරු ගෘහීය අධ්‍යාපනයෙන් නර්තනය ඉවත් වීම සමඟ සිදු විය. විශේෂයෙන් ම කාන්තාවන්ට නර්තන කාලවට සම්බන්ධ වීමට අවස්ථාව ද විදේශීය අධ්‍යාපන ක‍්‍රම අනුව නර්තන අධ්‍යාපනය හැඩ ගැසීමත් සමඟ සිදුවිය. කාලානූරූපව නර්තන අධ්‍යාපනයේ සිදු වූ වෙනස්කම් සමඟ ම ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ තිබූ උසස් ගුණාංගද අප අතින් ගිලිහි යාම ද නොදැනීම සිදු විය. 1930 දශකය නව නර්තනයේ ආරම්භය, කාන්තාවන් නර්තන කාලවට සම්බන්ධ වීම ආදී කාරණාවන් නර්තන අධ්‍යාපනයේ ඉක්මන් වෙනසට බෙහෙවින් බලපාන ලදි


සටහන දිනේෂ් ජයසිංහ

අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

ආශි‍්‍රත ග‍්‍රන්ථ හා ලිපි

නර්තනය හා ශි‍්‍ර ලාංකේය ගුරු කුල සම්ප‍්‍රදාය, වෛද්‍යවතී රාජපක්ෂ, ලලිත කලා සාර සංග‍්‍රය - 3.

ශි‍්‍ර ලංකාවේ නර්තන විෂය ක්ෂේත‍්‍රය හා සම්බන්ධ පාසල් විභාග ක‍්‍රම එහි අභිවෘද්ධියට හේතුවක් වීද ?, ධම්මිකා ලංකාතිලක, ලලිත කලා සාර සංග‍්‍රහය - 3.

පැරණි ශි‍්‍ර ලංකාවේ නර්තන ගුරු කුලයේ හි පැවති අධ්‍යාපනික සංස්කෘතික කි‍්‍රයාවලි වෙනස් වීටම බලපෑ සමාජ පසුබිම, වෛද්‍යවතී රාජපක්ෂ, නර්තන චින්තා.

ශි‍්‍ර ලාංකික නර්තනයේ විකාශනය, තිස්ස කාරියවසම්.

රංගන පළමුවැනි කාණ්ඩය, තැන්වැනි කලාපය, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශාස්තී‍්‍රය සංග‍්‍රහය

රුහුණු නැටුම් සිද්ධාන්ත, කාලිංග ඔබේවංශ 

ශී‍්‍ර ලංකාවේ පාසල් ක‍්‍රමයෙන් බාහිර අධ්‍යාපනය.


(අධ්‍යාපන කටයුතු සඳහා අවැසි ලෙස උපුටා ගන්න, මෙම ලිපිය වෙනත් තැනක පල කරන්නේ නම් කතෘ අයිතිය ලබා දීමට කාරුණික වන්න)

Read More

Sunday, April 28, 2024

ශ්‍රි ලංකාවේ දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය

April 28, 2024 0

   අන් කවරදාකටත් වඩා දේව විශ්වාස පිළිබඳව සමාජය තුළ විවිධ කථිකාවන් ඇතිව තිබේ. එක් කොටසක් දේව විශ්වාස පිටුපස අන්ධානුකරණයෙන් යුතුව ගමන් කරන අතර තවත් පිරිසක් දේව වන්දනය පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීමක් අරඹා ඇත. මේ අතර බුදු දහමේ මූලික ඉගැන්වීම් පවා අභියෝගයට ලක් කරමින් විවිධ මිථ්‍යාවන් බහුල ලෙස සමාජ ගත වීමද වත්මනේ දී දැකිය හැකිය.



    ප්‍රාථමික මනුෂ්‍යයන් වශයෙන් ස්වාභාවදහම කෙරෙහි තිබූ කුතුහලය මෙන්ම බියද මූලික වශයෙන්ම දේව විශ්වාස හා ඇදහිලි කෙරෙහි මිනිසා යොමු වීමට මූලිකවම බලපා තිබේ. මෙය ලාංකිකයින් කෙරෙහිද පොදු ලක්ෂණයකි. ප්‍රාග් බෞද්ධ යුගයේ දී මෙරට විසූ ජනයා සතුවද එවැනි ඇදහීම් තිබූ බව ඉතිහාසය සාක්ෂි සපයයි.

පණ්ඩුකාභය රජු විසින් ව්‍යාධ දෙවියන්ට බටහිර දොරටුව අසල තල්ගසක වෙසෙන්නට ඉඩදුන් බව හා පච්හමරාජිනී නම් දෙවඟන උදෙසා බටහිර දොරටුව අසල දේවාලයක් ඉදිකර දුන් බව මහා වංශයේ සඳහන්ව ඇත. 

    බුදු දහම මෙරට තුළ ස්ථාපිත වීමත් සමඟ එතෙක් පැවති දේව ඇදහිල්ලද වෙනස්කම් වලට ලක්වී තිබේ. බුදු දහමේ මූලික ඉගැන්වීම් තුළදී දේව වන්දනයට ඉඩක් නොවුන ද මෙරට තුළදී බුදු දහමේ ආගමනය හේතුවෙන් එතෙක් පැවති දේව වන්දනා ක්‍රම ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම දේව ඇදහිලි තුළට බෞද්ධාගමික මුහුණුවරක් ආරෝපණය කිරීම සිදුව ඇති බව පැහැදිලිය. සෙනරත් පරණවිතාන දක්වා ඇති ආකාරයට සමන් දෙවියන් බවට පත්වී ඇත්තේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිටි යම නම් දෙවියන්මය. කෙසේ වෙතත් මූලික ඉගැන්වීම් අත්හැරි ජනප්‍රියවාදී බුදු දහමේ දී දේව වන්දනා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම වන්දනා කෙරෙහි බෞද්ධාගමික මුහුණුවර ආදේශ කිරීම ක්‍රමයෙන් සිදුව ඇත. 

    අට්ඨකතා පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ ඊ.ඩබ් අදිකාරම්ගේ මතයට අනුව ලක්වැසි බෞද්ධයන්ට දෙවියන් යනු හුදෙක් බුදුන්ට පක්ෂ වූ හෝ විපක්ෂ සත්ව කොට්ඨාශයක් පමණකි.

අනුරාධපුර යුගයේ මධ්‍ය අවධිය පමණ වනතෙක් මෙරට ජන විශ්වාසය තුල අවධානයට ලක්වූ දෙවිවරු තිදෙනෙකි.

සමන් දෙවි - බුදුන්ගේ පළමු ලංකාගමනය හා සම්බන්ධ වීම

උපුල්වන් දෙවි - බුදුන්ගේ නියමයෙන් විජය රජු ඇතුළු  පිරිසට ආරක්ෂාව සැපයීම

කතරගම දෙවි - එළාර - දුටුගැමුණු යුද්ධය හා සම්බන්ධ වීම

    දෙවැනි සියවස ගජබා රජ සමයේ දී දකුණු ඉන්දියාවෙන් සොලී සිරකරුවන් දොළොස්දහසක් ගෙ ඒමත් සමඟ ඔවුන් ඇදහු ශිව, විෂ්ණු, කාර්තිකේය, පත්තිනි ආදී ඇදහීම් මෙරටට පැමිණි බව ද ඊ.ඩබ් අදිකාරම්ගේ අදහසයි.

    අනුරාධපුර යුගයේ අපරභාගයේ දී ක්‍රි:ව 1017 -1070 දක්වා ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරනු ලැබූවේ සොලීන් විසිනි. එම කාලයේ දී මෙරට තුළ දේව වන්දනය කෙරෙහි ලැබුණු රාජ අනුග්‍රහය හේතුවෙන් මෙරට තුළ දේව වන්දනය මුල් බැස ගැනීම වඩා හොඳින් සිදු විය.

    පොලොන්නරු යුගය වන විට මෙරට තුළ හින්දු දේව විශ්වාස තදින් මුල් බැස තිබූ බව හමුවී ඇති පුරා විද්‍යා නටඹුන් තුළින් ද මනා ලෙස තහවුරු වී තිබේ. එකළ ඉදිවූ පටිමාඝර ආදියෙහි අන්තර්ගත හින්දු දේවාල ආකෘතිය බෞද්ධ පූජා භුමි තුළට හින්දු දේවාල ඇතුළත් වීම ආදියෙන් එය වඩාත් හොඳින් තහවුරු කරනු ලබයි.

    රාජ අනුග්‍රහය, සතුරු ආක්‍රමණ සමඟ ඇති වූ දේශපාලනික වෙනස් වීම් ආදිය සමඟ මෙරට තුළ දේව වන්දනය බුදු දහම හා සමානවම සමහර අවස්ථාවන් වලදී බුදු දහමද අභිබවා යන අයුරින් සමාජය තුළ ස්ථාපිත වීම සිදුව ඇත.

    ක්‍රි:ව 14 වන සියවස පමණ වන විට බුදු රදුන් හා දෙවියන් සම ආස්ථානයක ලා සලකන තරමට දේව වන්දනය සමාජගත වී පැවති බව ගඩලාදෙණයි, ලංකාතිලක විහාරය ආදී ස්ථාන වලදී බුද්ධ මන්දිරය තුළම දේවාල නිර්මාණය වීමෙන් පෙනී යයි.

    කෝට්ටේ යුගය දේව වන්දනය ප්‍රචලිත වීමේ උච්චතම අවස්ථාව බවට පත් වී තිබූ බවට සාධක ලෙස එකළ රචනා වූ සන්දේශ කාව්‍යයන් දැක්විය හැකිය. එම සන්දේශ කාව්‍යයන් පහෙන් හතරකම ග්‍රාහකයා වන්නේ දෙවිවරුය. එනම්,

පරවි, කෝකිල සන්දේශ - උපුල්වන් දෙවියන්ටත්

ගිරා සන්දේශය - නාථ දෙවියන්ටත්

සැළලිහිණි සන්දේශය - විභිෂණ දෙවියන්ටත්, වශයෙනි.

    මේ ආකාරයට සාහිත්‍යය තුළට පවා දේව වන්දනය අන්තර්ගත වීම තුළින් එකළ ජනවිඥ්ඥානය කෙරෙහි පවා දේව ඇදහීමේ බලපෑම පැහැදිලි වේ.

    සීතාවක රජ සමය මෙරට දේව වන්දනය සහ බුදු දහම කෙරෙහි සුවිශේෂ සමයකි. එනම් සීතාවක රාජසිංහ රජු ශිව සමය වැළද ගැනීම හා බුදු සසුන කෙරෙහි රජු විසින් කළ විවිධ පීඩාවන් හි ප්‍රතිඵලය වූයේ දේව වන්දනය තවදුරටත් සමාජය තුළ මුල් බැස ගැනීමය. රජුගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් භික්ෂුන් වහන්සේලා උපැවදි වීම, පන්සල් විනාශ වී කෝවිල් නැගී ඒම වැනි කාරණාවන් සිදු විය. මෙම වකවානුවේ දී ශ්‍රි පාදය පවා ශිව භක්තිකයින්ගේ අතට පත් වීම වැනි කාරණාවන් සිදු විය.

    කෝට්ටේ යුගයේ දී සිදු වූ පෘතුගීසි ආක්‍රමණයන් සමඟ ක්‍රිස්තියානි ධර්මය මෙරට තුළ ව්‍යාප්ත වීම ද දේව වන්දනයට රුකුලක් විය. ක්‍රිස්තු දේවත්වය පිළිගත් නව දේවවාදී පිරිසක් මෙරට බිහිවීම එතුළින් සිදු විය. සීතාවක යුගයේ සිටි ප්‍රමුඛතම ලේඛකයා වන අලගියවන්න මුඛවෙටි පවා ක්‍රිස්තු සමය වැළද ගැනීම සහ ඔහු විසින් රචනා කළ දෙවියන් වහන්සේට, ක්‍රිස්තු ස්වාමීන්ට හා එතුමන්ගේ කන්‍යාමරි මතාවට නමස්කාර කොට ඇරඹිම දේව වන්දනය නව ප්‍රවේශයකින් යුතුව ජන විඥ්ඥානයට ආමන්ත්‍රණය කිරීම සිදු විය.

    මහනුවර යුගය වන විට රාජ අනුග්‍රහය සහිතව දේව වන්දනය සිදු විය. දේශපාලනිකව දේවතා වන්දනය කෙරෙහි ලැබුණු අනුග්‍රහයන් එයට මූලිකවම හේතු විය. බුදුන් සමයේ සතරවරම් දෙවිවරු ලෙස සැලකු ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන දෙවිවරු වෙනුවට උපුල්වන් (විෂ්ණු), සමන්, බොක්සැල්, විභිෂණ යනුවෙන් නව දෙවිවරු සතරක් සම්භාවනාවට පත්වීම මෙසමයේ දී සිදු විණි. දැඩිමුණ්ඩ, සත්පත්තිනි, කළුකුමාර, පිටියේ දෙවි, අයියනායක, වීරමුණ්ඩ වැනි ඉන්දීය සම්භවයක් සහිත දෙවිවරුත්, මංගර දෙවි, හන්තානේ දෙවි, දොළහ දෙවි, බෝගම්බර දෙවි වැනි දේශිය යැයි සැලකෙන දෙවිවරුද මෙකළ පුද පූජාවන්ට පාත්‍ර විය.

    මහනුවර යුගයේ දී නායක්කාර වංශිකයන්ගේ බලාධිකාරිය දේව වන්දනයට මනා පිටුවලක් විය. මෙසමයේ දී එක් පිරිසක් හින්දු හා ක්‍රිස්තු දේව ඇදහිල්ල සෘජුව ඇදහීම සිදු කළ අතර සිංහල බෞද්ධ ජනයා බෞද්ධ මුහුණුවරකින් යුතුව දේව ඇදහීම සිදු කළේය. මෙකළ භික්ෂුන් පවා දේව වන්දනයට යොමු වූ අතර දෙවියන් සහ මිනිසුන් අතර අතරමැදියන් ලෙස ද භික්ෂුන් කටයුතු කළේය.

    රොබර්ට් නෝක්ස් දුටු ලංකාවේද දේවාල කපුවන් දෙවන පූජක පක්ෂය වශයෙන් කටයුතු කළ බව සඳහන් කොට ඇත. ඔහු දක්වා ඇති ආකාරයට කපුවන්ගේත් සෙසු මිනිසුන්ගේත් අතර කිසිදු වෙනස්කමක් නොමැති අතර වෙනස නම් දේවාලයට යන විට ඉස් සෝදා නා පිරුවට ඇද පේවීමය.

    ප්‍රාග් බෞද්ධ යුගයට පෙර සිට මෙරට ජනයා අතර පැවති දේව වන්දනය පිළිබඳ කථිකාව පරිණාමය වී අද වන විට ජනප්‍රිය බුදු දහම තුළට දේව වන්දනයන්ගෙන් උකහාගත් ලක්ෂණ වල බලපෑම සමඟ සැබෑ බුදු දහම හා දේව වන්දනය වෙන් කර හඳුනා ගත නොහැකි තරමට පත් වී ඇත. එයින් සිදු වූ අහිතකර තත්වය නම් දේව වාදය යොදා ගනිමින් මිනිසුන් මිථ්‍යාව කෙරෙහි යොමු කරවීමය.

සටහන - දිනේෂ් ජයසිංහ

පොතපත ඇසුරිනි 


Read More

Friday, April 19, 2024

දේශීය නර්තනයේ අධ්‍යාපනික සංවර්ධනය හා ව්‍යාවහාරය

April 19, 2024 0

  ජන විඥානය, සිතුම් පැතුම්, සමාජ ආකල්ප, සංස්කෘතික,ආර්ථික, දේශපාලන ප‍්‍රපංචයන් හි කාලානුරූප වෙනස් වීම සමස්ථ සමාජය කෙරෙහි විවිධ බලපෑම් එල්ල කරනු ලැබීය. මෙය දේශීය අධ්‍යාපනය සම්බන්ධව ද ඇති වූ පොදු තත්වයකි. කාලාන්තරයක් තිස්සේ මෙරට තුළ පැවති අධ්‍යාපන ක‍්‍රමවේදයන් හි සිදු වූ වෙනස්කම් සමඟ පරම්පරා ගණනාවක් තිස්සේ පැවති නර්තන අධ්‍යාපනයෙහි ද විශාල වෙනස්කම් රැසක් සිදු විය. එලෙස ඇති වූ වෙනස්කම් දේශීය නර්තනයේ පැවැත්මට, ප‍්‍රගමනයට මෙන්ම නර්තනය හා බැඳී තිබු සද්පරමාර්ථ කෙරෙහි අහිතරකර බලපෑම් ද ඇති කිරීමට සමත්විය.


 ගුරු ගෘහීය නර්තන අධ්‍යාපන ක‍්‍රමය කාලානුරූපව බිඳ වැටීමත් සමඟ  නර්තන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් ඇති විය. විශේෂයෙන් ම අවිධිමත් අධ්‍යාපන ලක්ෂණ පෙන්නුම් කරමින් පැවත ආ, විවිධ වෙනස්කම් සහිතව පුළුල්  පරාසයක විසිරි පැවති දේශීය නර්තනයේ සුවිසල් දැනුම් සම්භාරය ප‍්‍රමිතිගත විධිමත් විෂය මාලාවන් සහිතව අධ්‍යාපන පද්ධතියට එක් වීම ක‍්‍රමයෙන් සිදු විය. එය අධ්‍යාපනික වශයෙන් ඇති වූ සාධනීය තත්වයකි. 

    නර්තන පරම්පරාවන් සතුව පැවති නර්තන දැනුම බොහෝ සෙයින් එක් තැනකට ගොනු වීම, කාන්තාවන්ට නර්තනයේ අවස්ථා හිමි වීම, ප‍්‍රාසංගික කලාවක් වශයෙන් දේශීය නර්තනය වර්ධනය වීම වැනි කාරණාවන් කෙරෙහි මූලික අඩිතාලම දේශීය නර්තන සම්ප‍්‍රදායයන් අධ්‍යාපන පද්ධතිය සමඟ එක් වීම තුළ සිදු විය. 

    අධ්‍යාපනික වශයෙන් දේශීය නර්තනයේ සිදු වූ පරිණාමය අධ්‍යයනය තුළින් එහි සුවිශේෂී අවස්ථාවන් රාශියක් හඳුනා ගත හැකිය.

1913 ‐ 1938 කාල වකවානුවේ කරන ලද අධ්‍යාපනිත ප‍්‍රතිසංස්කරණ වලින් ආරම්භ කරන ලද හන්දෙස්ස ග‍්‍රාමීය අධ්‍යාපන ක‍්‍රමයේ දී පාසල් විෂය මාලාවට විවිධත්වයක් එක් කිරීම සඳහා ප‍්‍රායෝගික විෂයයන් කිහිපයක් ඇතුළත් කරන ලදි.

සෞඛ්‍ය
පරිසරය පිළිබඳ අධ්‍යයනය
වෘත්තිය පුහුණුව 
රසික අධ්‍යයනය (චිත‍්‍ර,නැටුම්,සංගීත)

    යන විෂයයන් එලෙස පාසල් පද්ධතියට එකතු කළේය. නර්තනය විෂයක් වශයෙන් පාසල් පද්ධතියට එක් වීමේ මූලික අඩිතාලම මෙම අධ්‍යාපන සංස්කරණයන් ය. පසු කාලීනව විවිධ විෂය මාලා, විභාග ක‍්‍රම, අධ්‍යයන ක‍්‍රම සහිතව දියුණු තත්වයට පත් වූයේ මෙම අරම්භයයි. රසික අධ්‍යයනය නම් විෂයේ එක් කොටසක් ලෙස පාසල් පද්ධතියට එක් වූ නර්තන විෂය අධ්‍යතනයේ පවතින වර්ධනීය තත්වයට පත් වීමට පසු කළ පියවර බොහෝ වෙති.

    1933 වර්ෂයේ ඊ. ඒ දෙල්ගොඩ මහතා විසින් කහවත්ත ප‍්‍රදේශයේ සබරගමු නැටුම් ඉගැන්වීම සඳහා පාසලක් විවෘත කිරීම සුවිශේෂී සිදුවීමකි. නර්තන අධ්‍යාපනය පුළුල් වීමට ලැබුණු තවත් අනගි උත්තේජනයක් ලෙස කි‍්‍ර:ව 1934 දී ලංකාවට පැමිණි භාරතීය මහා කලාකරු රවින්ද්‍රනාත් තාගෝර්තුමා විසින් නර්තනය ඉගැන්වීම සඳහා හොරණ කපුකුලවත්තේ ශි‍්‍ර පාලි විද්‍යාලයේ ප‍්‍රධාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම දැක්විය හැකිය. ශි‍්‍ර ලාංකික ලලිත කලා අධ්‍යාපන ඉතිහාසයේ අතිවිශිෂ්ඨ සංසිද්ධිය ආරම්භ වූයේ 1935 අගෝස්තුවේ දී මරදානේ ආනන්ද විද්‍යාලය දේශීය නර්තනය කෙරෙහි දැක් වූ ආකල්ප නිසාය. එනම් ආනන්ද බාලිකා විද්‍යාලයේ දී විනිෆි‍්‍රඞ් සිල්වා මෙනවියගේ මූලිකක්වයෙන් යුතුව දේශීය නර්තනය ඇසුරෙන් නිර්මාණ ඉදිරිපත් කිරීම සිදු විය. එය දේශීය නර්තනයට අධ්‍යාපනික වශයෙන් විශාල වටිනාකමක් ලැබුණු සුවිශේෂි අවස්ථාවකි. 

    මෙවැනි සංසිද්ධීන් නිසා ලාංකේය සමාජයේ දේශීය නර්තන සම්ප‍්‍රදායයන් පිළිබඳව තිබූ ආකල්ප වෙනස් කිරීමය සමත් විය. බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් පාරම්පරික නර්තන සහ භේරි වාදන ශිල්පීන් සතුව පැවති ඉපැරණි කලා ශිල්ප අගේකොට සැලකීම හේතු කොට ගෙන, එකී යුගයේ ලංකාවේ ස්ථාපිත වූ ඉංගි‍්‍රසි උගත් ලාංකේය නව සමාජය ද දේශිය නර්තන කලාව පිළිබඳ දැක්වූ ආකල්ප අනුක‍්‍රමයෙන් වෙනස් කර ගැනීමට හේතු විය. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ නර්තන විෂය පිළිබඳව තිබූ අවධානය වර්ධනය විය.

    1936 දී ලංකා ගාන්ධර්ව සභාව නමින් ස්වභාෂා මණ්ඩලයක් පිහිටුවා ආරම්භ කළ ගාන්ධර්ව විභාගය එවකට ලංකාවේ නර්තන විෂය වෙනුවෙන් පවත්වනු ලැබූ ප‍්‍රථම හා එකම විභාග ක‍්‍රමය විය. ලංකා ගාන්ධර්ව සභාව පිහිටුවීමේ පරමාර්ථ අනුව ඒ තුළින් ලාංකේය නර්තන අධ්‍යාපනයට ලැබුණු පිටුවහල ඉතාමත් හොඳින් අවබෝධ කර ගත හැකි වනු ඇත. 

    මේ ආකාරයට නර්තන අධ්‍යාපනය සඳහා විවිධ උත්තේජනයන් ක‍්‍රමයෙන් ඇති විය. පාසල් වල නර්තන විෂය ප‍්‍රථමයෙන්  ආරම්භ කරන ලද්දේ 1934 දී ය. එහි දී නර්තනය ඉගැන්වීම සඳහා කලායතන ගුරුවරුන් යොදා ගත් අතර 1936 දී සංගීත නැටුම් විශේෂ ගුරුවරු ඒ සඳහා පත් කිරීමට යොජනා කර ඇත. 

    1945 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව ම`ගින් නර්තන විෂය සඳහා පරික්ෂක වරයෙක් ලෙස පත් කරනු ලැබූ එස්. එල්. බී කපුකොටුව මහතාගේ කැපවීම නර්තන අධ්‍යාපනයේ ප‍්‍රගමනයට සුවිශේෂි දායකත්වයක් දැක්විය.

    1948 නිදහස ලැබීමෙන් පසුව යටත් විජිතකරණයට ලක්ව තිබූ සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී වූ සෑම අංශයක් වෙතම එම නිදහස දැනෙන්නට විය. ඒ අනුව ඉන් පසුව ඇති කරනු ලැබූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් නිදහසට පෙර තිබූ තත්වයට වඩා ප‍්‍රමුඛ අවස්ථාවන් නර්තන විෂය සම්බන්ධව ඇති විය. එතෙක් පාසල් විෂය මාලාවේ විශේෂ තැනක් හිමි කරගෙන තිබූ බටහිර සංගීතය හා නැටුම් වෙනුවට පෙරදිග සංගීතය හා උඩරට නැටුම් පාසල් විෂය මාලාවට ඇතුළත් කෙරිණි.  පාසල් පද්ධතියට නර්තනය අධ්‍යාපනික විෂයක් වශයෙන් ඇතුළත් වූවා මෙන්ම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ද නර්තන විෂයේ පැවැත්මට මහෝපකාරි විය. 

    1952 ජූලි 01 වැනි දා එවකට මුදල් අමාත්‍යය ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් හොර්ටන් පෙදෙසේ ජාතික කලායතන භූමියේ දී ම නැටුම් හා නාට්‍ය පාඨමාලා උත්සව ශී‍්‍රයෙන් ආරම්භ කරන ලදි. මෙම ආරම්භය ක‍්‍රමිකව විශ්වවිද්‍යාලයක් දක්වා වර්ධනය වූයේ එකල සිටි නර්තන ශිල්පීන්ගේ ඉමහත් කැපවීම මත බව නර්තන ඉතිහාසය සාක්ෂ්‍ය දරනු ඇත. ඒ අනුව රජයේ ලලිත කලායතනය 1953 ජූලි 07 අංශ තුනක් යටතේ ආරම්භ විය. පසුව 1953 ඔක්තොම්බර් 01 සංගීත හා නැටුම් විද්‍යාලය ඇල්බට් චන්ද්‍රවංකයට ගෙන එනු ලැබිණි. මෙකළ රජයේ ලලිත කලායතනයට සිසු සිසුවියන් සහභාගි කරවා ගැනීම ආරම්භක සමයේ දී දුෂ්කර වී ඇත. මෙයට හොඳම නිදසුන වන්නේ එවකට මීරිගම රජයේ පාසලේ සිසු සිසුවියන් පිරිසක් පෙරවරුවේ පාසල් අධ්‍යාපනය ලබා අනතුරුව පස්වරුවේ කොළඹ කලායතනයට පැමිණ නැටුම් ඉගෙන ගැනීමේ පුවතයි. කෙසේ නමුත් මෙම ආයතනය 1960 රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය නමින් ද, 1974 මැයි 01 දින ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය නමින් ද ඉන් පසු 1980 ජනවාරි 01 දින කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්යය අධ්‍යාපන ආයතනය නමින්ද ප‍්‍රතිසංවිධානය විය. ආරම්භයේ දී උඩරට නැටුම පමණක් ඉගැන් වූ මෙම ආයතනය1960 දශකයේ දී පහතරට නැටුම් ඉගැන්වීම ද, 1970 දශකයේ දී සබරගමු නැටුම් ඉගැන්වීම ආරම්භ කිරීම ද විෂය ක්ෂේත‍්‍රයේ වැදගත් සිද්ධියක් ලෙස දැක්විය හැකිය. 2005 වසරේ දී මෙය සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය නමින් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් විය. වත්මනේ දී ලාංකේය නර්තන අධ්‍යාපනයේ ප‍්‍රමුඛත ආයතනය වන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි.

    1972 දී රජයේ පාසල් වලට සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්යය කිරීම හා නර්තන ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය ආරම්භ කිරීම නර්තන අධ්‍යාපනයට සුවිශේෂි අවස්ථාවකි. මේ සමඟ  වඩා විධිමත් අයුරින් පාසල් පද්ධතිය තුළ නර්තන අධ්‍යාපනය සිදු වීම මෙන්ම නර්තන විෂය පිළිබඳ වැඩි අවධානයක් යොමු වීම සිදු විය. එහි තවත් දිගුවක් ලෙස 1978 දී උසස් පෙළ විෂය මාලාව සඳහා ද නර්තනය එක් කරනු ලැබිණි. 1986 දී ජාතික අධ්‍යාපන ආයතනය යටතේ සෞන්දර්යය දෙපාර්තමේන්තුව පිහිටුවා විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ ආදිය සකස් කිරීම තුළ විවිධ නර්තන පරම්පරාවන් යටතේ පැවත ආ නර්තන අධ්‍යාපනය වඩා පොදු පිළිගැනිම් නිර්නායක යටතේ සකස් වී නර්තන අධ්‍යාපනය යම් දුරකට ඒක මිතියකට පත් විය.

    පාසල් පද්ධතිය තුළ නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම නිසා සිදු වූ වැදගත් කාර්යයක් ලෙස ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ දී ප‍්‍රායෝගික පක්ෂයට පමණක් සීමා වී තිබුණු නර්තන අධ්‍යාපනය වෙනුවට ඉගැන්වීම් ක‍්‍රමවේද වෙනසකට භාජනය වීමයි. එතෙක් පැවතුණ ප‍්‍රායෝගික විෂයක ඉගැන්වීම් ක‍්‍රමය වෙනස් කරමින් න්‍යායාත්මක කරුණුද ඊට ඇතුළත් විය. මෙම තත්වය පසුකාලීනව නර්තන විෂයට අදාල ප‍්‍රාමාණික උගතුන් බිහි වීම හා නව සංකල්ප බිහි වීමට බොහෝ සෙයින් හේතුකාරක වන්නට ඇතැයි සිතිය හැකි වේ. 

    ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය යටතේ සීමිත පිරිසකට පමණක් හිමි වූ නර්තන අධ්‍යාපනය පාසල් අධ්‍යාපන පද්ධතියට එක් වීම සුවිශේෂි සංසිද්ධියකි. වත්මන වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, හොරණ ශි‍්‍ර පාලි මණ්ඩපය, ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාල ප‍්‍රමුඛ වෙමින් උපාධි, පශ්චාත් උපාධි මට්ටට දක්වා නර්තන විෂයෙන් උසස් අධ්‍යාපන අවස්ථා බිහි කර ඇත. තවද වත්මන වන විට නර්තන අධ්‍යාපන ඉතා පු`ඵල් පරාසරයක විහිද යමින් පර්යේෂණ, සංවාද, නව නර්තන විධි, න්‍යායන් ආදිය පිළිබඳ අවධානය යොමු වෙමින් අධ්‍යයනයන් සිදු කරමින් පවතියි.

සටහන දිනේෂ් ජයසිංහ


මූලාශ‍්‍ර

ආශි‍්‍රත ග‍්‍රන්ථ හා ලිපි


නර්තනය හා ශි‍්‍ර ලාංකේය ගුරු කුල සම්ප‍්‍රදාය, වෛද්‍යවතී රාජපක්ෂ, ලලිත කලා සාර සංග‍්‍රය - 3.

ශි‍්‍ර ලංකාවේ නර්තන විෂය ක්ෂේත‍්‍රය හා සම්බන්ධ පාසල් විභාග ක‍්‍රම එහි අභිවෘද්ධියට හේතුවක් වීද ?, ධම්මිකා ලංකාතිලක, ලලිත කලා සාර සංග‍්‍රහය - 3.

පැරණි ශි‍්‍ර ලංකාවේ නර්තන ගුරු කුලයේ හි පැවති අධ්‍යාපනික සංස්කෘතික කි‍්‍රයාවලි වෙනස් වීටම බලපෑ සමාජ පසුබිම, වෛද්‍යවතී රාජපක්ෂ, නර්තන චින්තා.

ශි‍්‍ර ලාංකික නර්තනයේ විකාශනය, තිස්ස කාරියවසම්.

රංගන පළමුවැනි කාණ්ඩය, තැන්වැනි කලාපය, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශාස්තී‍්‍රය සංග‍්‍රහය

රුහුණු නැටුම් සිද්ධාන්ත, කාලිංග ඔබේවංශ 

ශී‍්‍ර ලංකාවේ පාසල් ක‍්‍රමයෙන් බාහිර අධ්‍යාපනය.


(අධ්‍යාපන කටයුතු සඳහා අවැසි ලෙස උපුටා ගන්න, මෙම ලිපිය වෙනත් තැනක පල කරන්නේ නම් කතෘ අයිතිය ලබා දීමට කාරුණික වන්න)

Read More

Post Top Ad

Your Ad Spot