Dakma - දැක්ම : dancing lowcountry dance sri lanaka dance lanka traditional dance

Hot

Post Top Ad

Your Ad Spot
Showing posts with label dancing lowcountry dance sri lanaka dance lanka traditional dance. Show all posts
Showing posts with label dancing lowcountry dance sri lanaka dance lanka traditional dance. Show all posts

Sunday, August 11, 2024

ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ කාන්තා දායකත්වය.

August 11, 2024 0

ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ කාන්තා දායකත්වය.

    

අනාදිමත් කාලයක සිට පැවත එන මානව නර්තනයේ සුවිශේෂ සන්දර්භයක් ලෙස ශ්‍රි ලාංකේය සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායයන් හැඳින්විය හැකිය. මෙහි දී අප මූලිකවම උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායයන් අදහස් කරන්නෙමු. උක්ත නර්තන සම්ප්‍රදායත්‍රය තුළ කාන්තා දායකත්වය පිළිබඳව අධ්‍යයනය අතිශය වැදගත්ය. මන්දයත් පුරුෂ මූලික සමාජයකදී කාන්තාව නිරන්තරයෙන්ම  අවවරප්‍රසාදිත කුලකය නියෝජනය කරන බැවිනි. එය නර්තනය පමණක් නොව සියළු කලාවන්, ආගමික, සමාජීය යන පොදු සමාජ සංස්ථාවන් හි දී ඇය අවවරප්‍රසාදිත කුලකය නියෝජනය කර ඇති බව දැකිය හැකි පොදු තත්වයකි. 

    සාම්ප්‍රදායික දේශිය නර්තනය තුළ සංකල්පීය වශයෙන් කාන්තාව භාවිතා කර ඇති අවස්ථාවන් ද වෙති. නිදසුන් ලෙස පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවොල් මඩුව, රටයකුම වැනි ශාන්තිකර්ම තුළ පත්තිනි දේවතාවිය මූලික කරගනිමින් සහ අවශේෂ කර ගනිමින් පුද පූජා පවත්වයි. සබරගමු නර්තන සම්ප්‍රදායේ එන පහන්මඩුව ශාන්තිකර්මය තුළ ද පත්තිනි දේවතාවිය පිදුම් ලබයි. බිසෝ කප සිටුවීම, පත්තිනි නැටීම ආදී චාරිත්‍ර සහ නර්තන අංග ද මෙම ශාන්තිකර්මයන් හි අන්තර්ගත වීමෙන් සාම්ප්‍රදායික නර්තනයන් තුළ කාන්තාව සංකල්පීය භාවිතා කර ඇති ආකාරය අවබෝධ කර ගත හැකිය.

    විශේෂයෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදායෙහි එන දිග්ගෙයි නැටුම වැනි කාන්තාවන් විෂයෙහි පමණක් සුවිශේෂි වන නර්තන අවස්ථාවන් සාම්ප්‍රදායික නර්තනය තුළ අන්තර්ගත වී තිබීම ද සුවිශේෂි ලෙස දැක්විය හැකිය. දිග්ගෙයි නර්තනය සමන් දේවාලයටම ආවේණික නර්තනයක් වනවා සේම සාම්ප්‍රදායික නර්තනය තුළද අන්තර්ගත නොවන ස්ත්‍රි රංගනයකි. (දිසානායක මුදියන්සේ, 2008) මෙම අවස්ථාව කාන්තාවන් විෂයෙහි නිර්මාණය වී තිබුණු එකම සාම්ප්‍රදායික නර්තන අංගය බවත් භාරතීය දේවදාසීන්ගේ ආභාෂයෙන් මෙම නර්තන අංගය නිර්මාණය වී ඇති බවත් විද්වත් මතයයි. කෙසේ නමුත් නර්තනය ස්ත්‍රීන්ට දැඩි ලෙස අකැප වී තිබු සංස්කෘතියක් තුළ දිග්ගෙයි නැටුම වඩා සුවිශේෂි වේ.

    නර්තන විකාශයෙහි ඵෙතිහාසික මූලාශ්‍ර තුළ කාන්තා නර්තන දායකත්වය පිළිබඳ යම් තොරතුරු ලබා ගත හැකි සාධක දුලබ නොවේ. ගල් කැටයම්, ලී කැටයම්, සිතුවම්, මූර්ති, සන්දේශ කාව්‍ය ආදිය තුළ කාන්තා නර්තනයන් පිළිබඳව සාධක බොහෝ වෙති. එම නර්තනයන් කුමන සම්ප්‍රදායට අයත් ඒවා වන්නේදැයි නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වුවද ඒ ඒ යුගයන්හිදි කාන්තාව නර්තන කලාවන් හා සම්බන්ධව සක්‍රිය ලෙස දායක වී ඇති බව එම සාධක සාක්ෂ්‍ය දරයි.

කෑගල්ල, අලවතුර ගනේගොඩ විහාරයේ පාදමේ ශෛලමය නළඟන රූ පෙළ.

ගම්පොල යුගයට අයත් ගඩලාදෙණිය විහාර පාදමේ නළඟන රූපාවලිය. 


බෙන්තර ගලපාත විහාරයේ ගල් උළුවස්සෙහි ඇති බෙර වාදක රූප, පිඹින ස්ත්‍රී රූප හා උඩරට නිළියකගේ රූප 






කෑගල්ල අම්බුඵගල ටැම්පිට විහාරයේ ගල් උඵවස්සෙහි නළඟන රූපයක් දක්නට ලැබීම.



ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් අතර සිව්රැස් පනේලයක ඇති භරත අරමණ්ඩියේ විලාශය පෙන්නුම් කරන නිළියකගේ රූපය.
කුරුණෑගල පනාපිටය අම්බලමේ කණුවක වෙස් බැඳි නැට්ටුවෙකුගේ හා නිළියකගේ කැටයම.






                                          කුරුණෑගල පනාපිටය අම්බලමේ කණුවක  කැටයම.
    

මුල්කිරිගල විහාරයේ ඇති වාද්‍ය භාණ්ඩ වාදනය කරන නළගන රූප.


  • මිහින්තලේ සිංහපොකුණු කටට උඩින් නළගන රූපයක් දක්නට ඇත .
  • අනුරාධපුර කුට්ටම් පොකුණෙන් නළගනකගේ නර්තන විලාශයක් දැක්වෙන ලෝකට මූර්තිය.
  • දැදිගම කොටවෙහෙරේ සූතිඝර චෛත්‍යයෙන් හමුවූ ඇත් පහනෙහි නළගන රූපයක් දක්නට ඇත .
  • අනුරාධපුර යුගය - කොරවක්ගල ලෙන් ලිපියේ නටන ගහපතියාගේ දුව විසින් පවරා දෙන ලදි යනුවෙන් සටහන් වේ.
  • පොළොන්නරු යුගය - පාලමොට්ටායි සෙල්ලිපියට අනුව නළලෙහි සලකුණු තබා දේවදාසින් 7 දෙනෙකු පිදු බවත් ඔවුන්ට තැන්පත් කළ මුදලක පොලියෙන් කාසි ගෙවු බව සඳහන් වේ.

ගම්පොල යුගය - තිසර සන්දේශය (14 වන සියවස)

නිලූපුල් දිගැසී තන රණ           කලසී
විදුලිය සදිසී සියුමැලි                දිගැසී
ර`ග බැස නොලසී ර`ග දෙන     විලසී
දුටු එම විගසී මද තෙම              ඇවිසී

කෝට්ටේ යුගය - සැළලිහිණි සන්දේශය
විදෙන ලෙලෙන නරු බර පුඵලූකුල  රැදී
හෙළන නගන අත නුවනග බැලූම්   දිදී
රුව දිලෙන අභරණ කැඵම ගත                යෙදී
සැලෙන පහන සිඵ වැනි රගන ලිය සැදී

ලකල පුඵලූකුල බැඳි මිණි          මෙවුල්ලා
සමග රන් සළඹ රැවු දී  වෙවුල්ලා
වයන පදට තබමින් පද   කමල්ලා
රගන ලඳුන් බල රූ සිරි   සියල්ලා

කෝට්ටේ යුගය - පරෙවි සන්දේශය

ලෙළදුන් නව තඹ පලූ වන් පාදේ
තබමින් නිවරද මද්දල නාදේ
ගයමින් පානා ගීයෙන් කීදේ
අගනන් රග දුටුවන් සිත පෑදේ

ලෙළෙවනා දිගු නෙත නිලූපුල       සේයා
ලෙළ පවනින් රන් ලිය  විලසේයා
නළගන රගනා දැක      නොලසේයා
නළගන නුවනත ර`ග සැලසේයා

ගම්පොළ යුගය - 14 වන සියවස
දෙවුන්දර උපුල්වන් දේවාලයේ මිනිස් ප‍්‍රමාණ උස දෙව්රුවක් අබියස පන්සීයක් පමණ හින්දු බාලිකාවන් ගී ගයා නැටූ බව ඉබන් බතූතාගේ වාර්තාවන්හි දක්වා ඇත.

මහනුවර යුගය - විමලධර්මසූරිය රජ සමය
මහනුවර පෙරහැරේ රූමත් තරුණියෝ ලස්සනට නටත්. ඔවුන්ගේ උඩුකය නග්න වූ අතර යටිකය වැඩ දැමූ වස්ත‍්‍ර ඇත්තේය යනුවෙන් ලන්දේසි ජාතික ස්පිල් බර්ජන් තම වාර්තා තුළ දක්වා ඇත.

මහනුවර යුගය - දෙවන රාජසිංහ රජ සමය
එහි දේවාල විහාරවල තේවාව සඳහා නියම වූ කුලවලින් පැමිණ කළගෙඩි සෙල්ලමේ යෙදෙන නළගනෝ වෙත්. ඔවුන් හට නියම වූ විවිධ වූ කී‍්‍රඩා කරමින් තුන්දෙනා බැගින් අතිනත ගෙන රගන ස්ති‍්‍රහු වෙති

    මේ අකාරයට විවිධ මූලාශ‍්‍රයන් තුළ ශි‍්‍ර ලාකේය කාන්තාවගේ නර්තන දායකත්වය පිළිබඳ සාධක විශාල වශයෙන් හමුවුව ද සාම්ප‍්‍රදායික නර්තනයේ දී කාන්තා දායකත්වය ඉතාම අල්පය. තත් විෂය හදාරන්නෙකුට මෙය නිතැතින්ම ප‍්‍රශ්නාර්ථයක් විය යුතුය.

    මෙරට චෛතිහාසික කාන්තා නර්තන අනන්‍යතාවය එලෙස වුවත් ඉතිහාසයේ එක් සන්දිස්ථානයක දී නර්තනය හා කාන්තාව අතරට බෙදුම් රේඛාවක් පැමිණ තිබේ. එනම් කාන්තාවට නර්තනය තවදුරටත් උචිත දෙයක් නොවන බව සහ ශි‍්‍ර ලාංකේය සංස්කෘතියට අනුව උසස් කුල කතුන්ට එය තරම් නොවන බවට සංස්කෘතික සීමාවකට කාන්තා නර්තන හැකියාවන් සීමා වී ඇති බැව් පැහැදිලිය. විශේෂයෙන්ම පශ්චාත් යටත්විජිත සමයෙන් පසුව ඇතිවන වික්ටෝරියානු සංස්කෘතිකාභාෂයත් සමග මෙම තත්වය මෙරට සංස්කෘතිය තුළට එක්වූවායැයි සිතිම යුක්ති යුක්තය.

‘‘මහනුවර පෙරහැරේ රූමත් තරුණියෝ ලස්සනට නටත්. ඔවුන්ගේ උඩුකය නග්න වූ අතර යටිකය වැඩ දැමූ වස්ත‍්‍ර ඇත්තේය’’
 ලන්දේසි ජාතික ස්පිල් බර්ජන් 

    ඉහත පාඨය එක් යුගයක මෙරට නර්තනයේ කාන්තා දායකත්වය මෙන්ම එක් යුගයක මෙරට සංස්කෘතිය පිළිබඳවද යම් තත්වයක් අපහට විදාරණය නොකරන්නේද.

එලෙස නිදහස්ව පැවැති කාන්තා නර්තන විලාශයන් තවත් යුගයක මහනුවර දළදා පෙරහැරෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇත. කාන්තාවට දළදා පෙරහැර වත්මනේ දී පවා අවකාශ නොමැති තැනක් බවට පත්කරලීමට තරමට ප‍්‍රබලව සංස්කෘතික මතවාදයක් ගොඩනැගී ඇත. 

‘‘සිංහලයන් අතර පමණක් නොව සමහර ද්‍රවිඩයන් අතරද නැටුම් ගැන පැවති ආකල්ප සුහද නොවීය. නල්ලූර් හි කන්දස්වාමි කොවිලේ අයිතිය ගැන පැවරූ නඩුවක සාක්ෂ්‍යයක් හැටියට දේවාලයකට දෙවියන් වෙනුවෙන් කළ යුතු පංචකර්මය පැවැත්වීමට නිළියන් අවශ්‍ය වුවත් ඔවුන් වෛශ්‍යාවන් නිසා උත්සවාවස්ථාවට ද ඔවුන් සබභාගි කර නොගන්නා බවත් තමන්ගේ දරුවන්ට නැටුම සුදුසු වෘත්තියක් නොවන බවක් කියවිණි’’ (කාරියවසම් තිස්ස,1986)
ඉහත පාඨය ලාංකේය නර්තන කලාව තුළ කාන්තාවගේ අවවරප‍්‍රසාදිත භාවයට නිදසුන් සපයන්නකි. එනම් ඇයගේ නර්තනයෙන් නෙත් සිත් පිනවා ගත්ත ද සමාජයීය හෝ සංස්කෘතිකමය පිළිගැනීමක් ඇයට කිසි ලෙසක හෝ නොලැබිණි. 
යටත් විජිත සමයට පෙර මෙරට සාම්ප‍්‍රදායික දේශීය නර්තන සම්ප‍්‍රදායන්ගෙන් අවවරප‍්‍රසාදයට ලක් වූ කාන්තාවන් පශ්චාත් යටත් විජිත සමයෙන් පසුව මුඵමනින්ම පාහේ ඈත්ව ගොස් ඇති බැව් නර්තන ඉතිහාසය තුළින් කාන්තාව සැගවීම තුළ පැහැදිලිව පෙනී යයි. යටත් විජීත සමයේ මෙරට තිබුණු සමාජ හා දේශපාලනික තත්වයන් මෙන්ම පශ්චාත් යටත්විජිත සමයේ මෙරට තුළ මුල් බැස ගත් වික්ටෝරියානු සංස්කෘතියේ බලපෑම ආදිය මෙම තත්වයට සෘජු ලෙස බලපෑම් කර ඇත.

‘‘අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් උඩරට නැටුම් ප‍්‍රචලිත කිරීමට තැත් දැරුවද එයට බොහෝ බාධක මතුවී ආයේය. මාර්තු 27 කඩුගන්නාවේ පාසල් නැටුම් උත්සවය නැරඹු දන්තුරේ තරුණ ශිෂ්‍යයෝ පිරිසක් වැඩිවයට පත් ගැහැණු ළමයින්ට නැටුම් ඉගැන්වීමට විරුද්ධව ලියූහ’’ (කාරියවසම් තිස්ස,1986)

‘‘ප‍්‍රසිද්ධ ස්ථානවල බෙර ගසමින් පෙරහැරයාම තහනම්ව පැවති හෙයින් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට යෝජනාවක් මේ ගැන ඉදිරිපත් විය. මේ සම්බන්ධව තීරණයක් නොගැණුනද ගැහැණු ළමයින්ට නැටුම් ඉගැන්වීමට විරුද්ධ ව්‍යාපාර නැවත මතුවිය. 1937 අගෝස්තු 27 වැනි දින යාපනයේ උරුම්පිරේහි හින්දු ඉංගි‍්‍රසි විදුහලේ පැවති නැටුම් සංදර්ශනයකට ගල් ගැසීම ගැන නව දෙනෙකුට නීති මගින් කි‍්‍රයා කෙරිණි’’ (කාරියවසම් තිස්ස,1986)

කාන්තාව සහ නර්තන කලාව අතර ඇතිවු වියෝජනය නැවත ඒකරාශි කිරීමට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ මෙන්ම සමාජයේ ප‍්‍රභු යයි සම්මත පරම්පරාවන්හි කාන්තාවන් තුළින් ලැබුණූ දායකත්වය අතිමහත්ය. විශේෂයෙන්ම ඉන්දියුනු සංස්කෘතිය තුළ ඇති වූ වෙනස්කම් සමග මෙරට ගැහැණු දරුවන් සහ කාන්තාවන් නැවත නර්තන සම්ප‍්‍රදායයන් හැදෑරීමට මෙන්ම නැවත වේදීකාවන් තුළ තම නර්තන හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් වීම කාන්තාවට අහිමිව තිබු නර්තන අවකාශ්‍ය නැවත අත්පත් කර ගැනීමේ මූලාරම්භය විය. 

‘‘ඉන්දියාවේ පාසල්වල ගැහැණු ළමයින්ට සාම්ප‍්‍රදායික නැටුම උගන්වන බවට ඡුායාරූප පළ කිරීමෙන් ද සිංහල සමාජයටත් නැටුම පහත් පෙලේ කාර්යයක් නොවන බවට අවබෝධයක් ඇති කිරීමට උත්සාහ දරා ඇත’’(කාරියවසම් තිස්ස,1986)
‘‘ 1934 තාගොර්ගේ පැමණිමත්, 1935 දී උදයශංකර්ගේ හා මේනකාගේ පැමිණිමත් නිසා සම්භාවනාවක් නැටුමට ලත් බව පැවසු හර්ෂදේව නැටුම් කලාව පෝෂණය කිරීමට පාසලක් පිහිටුවිය යුතු යයි යෝජනා කළේය. කාන්තාවන්ට ද උඩරට නැටුම් ඉගෙනීමට එහි ඉඩතිබිය යුතු යයි යෝජනා කළේය’’(කාරියවසම් තිස්ස,1986)

    කාන්තාව හා නර්තනය පිළිබඳ විවාද සම්පන්න තත්වයන් පශ්චාත් යටත්විජිත සමයේදී මෙරට උගත් යයි සම්මත සමාජය තුළ බහුලවිය. එක් අන්තයක නර්තනය කාන්තාවන්ට උචිත නොවෙතැයි තර්ක කරන පසුබිමක කාන්තාව නැවත නර්තන කලාවට අවතීරණ කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කළ කාන්තාවන් කිහිපදෙනෙකු විය. මෙම කාන්තාවන් සමාජයේ පිළිගත් උසස් සමාජ පසුබිමකින් යුතු පවුල් පසුබිමකින් පැවත ඒම මොවුන්ට මහත් පිටුවහලක් විය. එනිසාවෙන් ඔවුන්ගේ කාර්යයන්ට සමාජයෙන් එල්ල වන අභියෝග වලින් ඔවුන්ට ආවරණයක් ලැබුණු අතර තවත් විටෙක ඔවුන් මෙරට කාන්තාවන්ට පුර්වාදර්ශද විය. මෙය පසුකාලිනව නර්තන කලාවට කාන්තාවන් අවතීර්ණ වීමටද හේතු පාදක විය. චන්ද්‍රලේඛා පෙරේරා, මීරියම් පීරිස්, වජිරා චිත‍්‍රසේන, මිරැන්ඩා හේමලතා වැනි නර්තන ශිල්පිනියන් මෙහිලා මූලිකත්වය ගනු ලැබූ අය ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත.

‘‘ කොළඹ විශ්වවිද්‍යාලයේ දී මාරයා හා ඔවුන්ගේ  දුවරු නමින් නැටුමක් චන්ද්‍රලේඛා හා මනුතාකර්එතනා සමග රගපෑමද විශේෂත්වයකි. ජේ. ඞී. ඒ පෙරේරා උසස් සමාජයේ වැජඹුණු කෙනෙකු හෙයින් පෙරේරා මහත්මිය රැගුම් දැක්වීම නිසා නැටුම ඔවුන් අතරට යන්නට ඇත’’(කාරියවසම් තිස්ස,1986)

    1934 -1940 කාලයේ මීරියම් පීරිස් මහත්මිය හිස වෙස් පැළඳීම මෙරට නර්තන ඉතිහාසය තුළ ආන්දොලනාත්මක සිදුවීමකි. කාන්තාවන්ට අහිමි වු නර්තන අවකාශය ලබා ගැනීමට කළ සටනෙහි තීරණාත්මක සිදුවීමක් වූ මෙම අවස්ථාව වත්මනෙහි ද විවාද සම්පන්න මාතෘකාවකි. එහි තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස 1948 දී සෝමබන්දු විද්‍යාපති මහත්මා විසින් වජිරා චිත‍්‍රසේන වෙනුවෙන් කාන්තාවන්ට උචිත අයුරින් උඩරට වෙස් ඇඳුම් කට්ටලය නිර්මාණය කිරීම ද දැක්විය හැකිය. 

    අධ්‍යතනය වන විට අතීත නර්තන අවකාශය තුළ පුරුෂයින් සතුව තිබූ අවස්ථා බොහෝමක සමස්ථාන ගැනීමට කාන්තාවන් සමත්වී තිබෙන බව දැකිය හැකිය. එනම් පුරුෂ පක්ෂයට වඩා නර්තන කලාව තුළ කාන්තාවන් දක්නට ලැබීම සුලභ තත්වයකි. ක‍්‍රම ක‍්‍රමයෙන් සමාජය තුළ මුල් බැසගෙන තිබූ සංස්කෘතික මතවාදයන්, සීමාමායිම් බිඳ වැටීම මෙයට හේතුවයි. එ කෙසේ නමුත් සාම්ප‍්‍රදායික නර්තනය තුළ කාන්තාවට තිබූ සීමා මායිම් එලෙසින් ආරක්ෂා කරමින් පවත්වා ගෙන යන්නේ කාන්තාවන්ගේ ද දායකත්වය තුළින්මය. 

සටහන - දිනේෂ් ජයසිංහ 

ආශ්‍රීත ග්‍රන්ථ 
ශ්‍රී ලංකික නර්තනයේ විකාශය තිස්ස කාරියවසම් 
සිංහල නර්තන කලාව මුදියන්සේ දිසානායක 

සේයාරූ 
දිනේෂ් ජයසිංහ 
අන්තරජාලයෙන් 








Read More

Saturday, April 20, 2024

රිද්දියාගය ශාන්තිකර්මය සහ සමාජ සන්නිවේදනය

April 20, 2024 0

   


 දේශිය සංස්කෘතිකාංගයන් තුළ අන්තර්ගත සුවිශේෂි අංගයක් ලෙස ශාන්තිකර්ම පද්ධතිය හැඳින්විය හැකිය. එක් අතකට දේශිය නර්තන සම්ප‍්‍රදායයන් හි තිඹිරිගෙය වන්නේද මෙම ශාන්තිකර්මයන්ය. සුවිශේෂි හෙළ කලාංගයක් ලෙස ශාන්තිකර්ම තුළ සමාජ, සංස්කෘතිමය, කලාත්මක වටිනාකම් රාශියක් දක්නට ලැබේ. ඒවා පිළිබඳ අප නිසි ඇගයීමකින් යුතුද යන්න ප‍්‍රශ්නාර්ථයකි.

    අධ්‍යතනයේ දී බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මුල් කර ගනිමින් දිවි ගෙවීමට හුරුව තිබුණ ද අතීත සමාජය තුළ පාරම්පරිකව පැවති ආ අධ්‍යාපන, විද්‍යාත්මක, සෞඛ්‍ය, සංස්කෘතික ආදී ලෙසට අපටම ආවේණික වූ වටිනාකම්, දැනුම් පද්ධතියක් තිබිණ. නමුත් සමාජය හා සංස්කෘතිය  තුළ කාලානුරූපව සිදු වූ වෙනස්කම් සම`ග එම හර පද්ධතින් වෙනුවට වෙනත් ක‍්‍රම ශිල්ප කෙරෙහි සමාජය යොමු විය. විශේෂයෙන්ම බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මත යැපීමට අප හුරු පුරුදු විය. 

  • සුසන්ත විදානගමගේ ගුරුතුමන් 
  •         වත්මනේ දී හුදු කලා, සංස්කෘතිකාංගයක වටිනාකම පමණක් ශාන්තිකර්ම සම්බන්ධයෙන් ඉතිරිව තිබුණ ද අතීතයේ දී ශාන්තිකර්මයක් වටා වටිනාකම් රාශියක් ගොනු වී තිබිණි. මිනිසා කෙරෙහි වැළදෙන්නා වූ කායික මානසික පීඩාවන්, විවිධ අතුරු ආන්තරාවන් වලදී ශාන්තිකර්ම තුළින් හෙළයා ලැබූ සහනය සු`ඵපටු නොවේ. එමෙන්ම යහපත් සමාජ සත්වයෙකු ලෙස මිනිසා සමාජගත කරවීමේ දී ද ශාන්තිකර්මයන් තුළින් සිදු වූ සේවය සු`ඵ පටු නොව්. අතීත සමාජයේ පැවති මෙවැනි වටිනාකම් මිථ්‍යාමත හෝ විද්‍යාත්මක නොමැති යැයි බැහැර කළ නොහැක. මන්දයත් මේ සියල්ල නිර්මාණය වීම තුළ විද්‍යාත්මක, කලාත්මක, සමාජ විද්‍යාත්මක වටිනාකම් රාශියක් අන්තර්ගත වී ඇති බව විමර්ශනාක්ෂියෙන් යුතු අධ්‍යයන් තුළින් පැහැදිලි වී ඇති නිසාවෙනි.

        පහතරට නර්තන සම්ප‍්‍රදායේ මාතර සහ බෙන්තර යන අනු සම්ප‍්‍රදායද්වයෙහි අන්තර්ගත සුවිශේෂී ශාන්තිකර්මයක් වන රටයකුම හෙවත් රිද්දි යාගය ශාන්තිකර්මය සමාජ සන්නිවේදනය ලක්ෂණයන් බහුලව අන්තර්ගත ශාන්තිකර්මයකි. ඒ පිළිබඳව කෙටි අධ්‍යයනයක් මෙම ලිපියෙන් අපෙක්ෂා කෙරේ. 

        රටයකුම හෙවත් රිද්දි යාගය ශාන්තිකර්මය පහතරට නර්තන සම්ප‍්‍රදාය තුළ කාන්තාවන් විෂයෙහි සිදු කරනු ලබන එකම ශාන්තිකර්මයයි.(කෝට්ටගොඩ,2001) මෙම ශාන්තිකර්මය තුළින් මානසික චිකිත්සාවක් මෙන්ම සමාජය කෙරෙහි වටිනාකම රාශියක් සම්පේ‍්‍රෂණය කිරීමට හෙළ කලාකරුවන් සමත් වී තිබේ. එනිසා මෙය වඩාත් සුවිශේෂි ශාන්තිකර්මයක් ලෙස දැක්විය හැකිවේ. 

        සෑම කාන්තාවක් සහ පුරුෂයෙක් සමාජ සම්මතයන්ට අනුව විවාහපත් වීමෙන් පසුව ඊළ`ග අපෙක්ෂාව වන්නේ නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමයි. එහෙත් විවිධ කායික මානසික දුර්වලතා හේතුවෙන් මෙම අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි වන අවස්ථාවන් වත්මන් සමාජයේ මෙන්ම අතීත සමාජයන් තුළ ද දක්නට ලැබිණි.  වත්මනේ දී මෙවැනි කායික මානසික දුර්වලතාවන් සඳහා බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර, ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම  ඕනෑතරම් දක්නට ලැබේ. තවද විවිධ මිථ්‍යා විශ්වාසයන් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන අවස්ථාවන් පිළිබඳවද  ඕනෑ තරම් දක්නට ලැබේ. 

        වඳ ස්තී‍්‍රන් දරුවන් ලබා ගැනීම වෙනුවෙනුන්, දරුවන් පිළිසිදෙන නමුත් අතුරු ආන්තරාවලට ගොදුරු වී ගැබ අතර මග විනාශ වන කාන්තාවන්ගේ ගැබෙහි ආරක්ෂාවට හා යහතින් දරු උපත සිදු වීමත් යන කරුණු අරඹයා රිද්දියාගයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතයි.(කෝට්ටේගොඩ,2001)

        විල්ලොඩි පුරවර රන්ගිරිකූටය පළාගෙන එහි හටගත් දුමාරයෙන් හා ගිනිපුපුරු වලින් රිද්දි බිසවුන් බිහි වුණ බව කියැවේ. මුදුන්මාල, ධර්මමාල, ගිරිමේඛල,  ඕන්කාර, රනකපාල, කොණ්ඩමාල, එර්දි යනු එම බිසවුන් සත් දෙනාගේ නම්ය. මෙම බිසවුන්ට දරුවන් නොමැති බැවින් වඳ බිසවුන් ලෙසද හඳුන්වා ඇත. ක`ඵකුමරුන් විසින් රිද්දි බිසවුන්ට වඳභාවය ඇති කළ බවත් නෛමිත්තකයන්ගේ උපදෙස් පරිදි හේනක් කොටා කපු වපුරා එම කපුවලින් නොයිදුල් ස`ඵවක් වියා දීපංකර බුදුන්ට පූජා කිරීමෙන් දරු ගැබ් ඇති වූ බවත්, බිසුවන්ට ඇතිවූ පි‍්‍රතියට ආභරණ ඇල්ලෙ දිය කෙළියට ගිය බිසුවන් රොඩියෙකුගේ ස්පර්ශය හේතුවෙන් ආභරණ ඇල්ලෙන් පැන දිවි නසා ගත් බවත් දරුවන්ට ආලයෙන් මිය ගොස් රිද්දි යක්ෂණියන් ලෙස ඉපිද කාන්තාවන් කෙරෙහි උවදුරු ඇති කරවන බවත් රිද්දියාගයේ උපත් කතාවෙන් කියැවේ. 

        මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර පවසන ආකාරයට සාම්ප‍්‍රදායික සන්නිවේදනයේ ප‍්‍රධාන මෙවලම ශාන්තිකර්ම ලෙස හැඳින්විය හැකිය (ලොකුලියන,2001) නර්තන, ගානයන හා වාදන අංගයන්ගෙන් පරිපූර්ණ සංස්කෘතිකාංගයක්, කායික මානසික චිකිත්සාවක් යන ගුණාංග මෙන්ම රට යකුම ශාන්තිකර්මය තුළ සාර සන්නිවේදන ලක්ෂණ රාශියක් අන්තර්ගත වේ. සන්නිවේදන අධ්‍යයනයේ දී හඳුනාගන්නා සාම්ප‍්‍රදායික සන්නිවේදන අංග ශාන්තිකර්ම, ජනශ‍්‍රෑති ආදීයෙන් යුක්ත වේ. ජන විඥානයට වඩා හොඳින් බලපෑම් කිරීමට හැකි වූ සන්නිවේදනාංගයක් ලෙස ශාන්තිකර්ම වලට අතීත සමාජය තුළ දී පුම‍්‍රඛස්ථානයක් හිමි විය. 

    යම් කිසි සන්නිවේදන කාර්යයකින් අපේක්ෂා කරන්නාවූ අරමුණු කිහිපයකි. 

    1. තොරතුරු සන්නිිවේදනය
    2. විනෝදාස්වාදය
    3. අධ්‍යාපනය
    4. පෙළඹවීම
    5. සාමාජානුයෝජනය

        යන ඒවා සන්නිවේදන කාර්යයක දී ප‍්‍රමුඛ ලෙස අපේක්ෂා කෙරේ. මෙහි දී රට යකුම් ශාන්තිකර්මය තුළ සාර සන්නිවේදන අංග අන්තර්ගත වී ඇති ආකාරය විමසා බලමු.

        හුුදු නර්තනාංගයක්, දේව ඇදහිල්ලක් බවට පමණක් සීමා නොවී සමාජයේ පැවතුණු මිථ්‍යා මත, විශ්වාස, දේව ඇදහිලි ආදිය පිළිබඳව අවබෝධයක් ලබා දීම, පුද්ගල මානසික සංවර්ධනය, සමාජ දේශපාලන අවබෝධය, පවුල් සැලසුම්කරණය පිළිබඳ දැනුම්වත්භාවය, පුද්ගල දුර්වලතා පිළිබඳ දැනුම්වත්භාවය, සිරිත් විරිත්, ගැටුම් සමතයකට පත් කරගන්නා ආකාරය ආදී වූ මනා සමාජ ජීවිතයකට අවශ්‍යවන්නා වූ දැනුම නිර්මාණාත්මක අයුරින් සන්නිවේදනය කිරීම දේශීය ශාන්තිකර්ම තුළින් සිදු විය. එමෙන්ම මෙම සාර සන්නිවේදන ලක්ෂණ බොහෝමයක් රටයකුම ශාන්තිකර්මය තුළ අන්තර්ගතය. 

        රට යකුම ශාන්තිකර්මයේ දී දෙබස්, රූපණ, ප‍්‍රහසනය, නාට්‍යමය අවස්ථා, වේෂ නිරූපණය, රංග භාණ්ඩ ආදිය යොදා ගනිමින් පණිවිඩය ග‍්‍රාහකයා හෙවත් ශාන්තිකර්මය නරඹන්නා වෙත ඉතා පහසුවෙන් ග‍්‍රහණය නැතොත් අවබෝධ කර ගත හැකි මෙන්ම එය සිතට කාවදින ලෙස සන්නිවේදනය කිරීමට හෙළ කලාකරුවා සමත්විය. 

        රටයකුම ශාන්තිකර්මයේ අන්තර්ගත නානුමුරය, දරු නැලවිල්ල, කපුයක්කාරිය යන නාට්‍යමය පෙළපාලි සාර සන්නිවේදන ලක්ෂණ මැනවින් නිරූපණය කරනු ලබන අවස්ථාවන් වේ.  

        කුඵඳුල් දරුවා ලැබීමට සිටින්නාවූ කාන්තාවක් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද විවිධ පීඩාවන්ට ලක් වීම සාමාන්‍ය තත්වයකි. වත්මනේ දී නම් මෙවැනි අවස්ථාවන් හි අවශ්‍ය කරන්නා වූ උපදෙස් ලබා දීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්, එම ක්ෂේත‍්‍රය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, මානසික උපදේශන වැඩසටහන් ආදී බොහෝ දේවල් බහුලය. නමුත් අතීත සමාජය තුළ දී එවැනි පහසුකම් සන්නිවේදන විධි අල්ප විය. එමෙන්ම එම සමාජය තුළ ලිංගිකත්වය හා සම්බන්ධ මෙවැනි කාරණාවන් වීවෘතව කතා කිරීම ද සිදු නොවීය. එම සියලූ අවශ්‍යතාවයන් සපුරාලීමේ ප‍්‍රධාන සන්නිවේදන ක‍්‍රමවේදය වූයේ රිද්දියාගය ශාන්ති කර්මයයි.

        ඇතැම් විටෙක ලිංගික ජීවිතය සම්බන්ධ උපදෙස් දීමට තරම් දෙමව්පියෝ වැඩිහිටියෝ ඉදිරිපත් නොවෙති. රිද්දි යාගය කිසියම් විවාහක යුවලකට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමටත්, ඒ තුළින් දරුවන් ලබා ගැනීමටත් හැකි වන ආකාරයේ පසුබිමක් සකස් කර දෙයි (කෝට්ටගොඩ,2001)

        රිද්දියාගයේ නානුමුරය නැතහොත් නානුමුර මංගල්‍යය පෙළපාලියෙන් ද ලිංගික කාර්යයට සූදානම් වන කාන්තාවක් ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය නිරූපණය කර දක්වයි. තම ස්වාමීයා එකී ලිංගික කාර්යයට ආසක්ත කර ගැනීම සඳහා නා පිරිසිදු වී, සුවඳ විලවුන් ගල්වා, මුහුණේ අංජන ගල්වා අලංකාර වන අයුරු කාන්තා ලාලිත්‍යය මැනවින් පෙන්නුම් කර අයුරින් මෙම නාට්‍යමය පෙළපාලිය ඉදිරිපත් කරයි. 

        නානුමුරය ලිංගික කාර්යයට සූදානම් වීමක් බැව් අගවන මහාචාර්යය තිස්ස කාරියවසම් මහතා ‘‘හිමියන් වෙත යන කල ආභරණ පැළඳ සුවඳ ඇ`ග ගල්වාගෙන පට පිළියෙන් සැරසී ශි‍්‍රයා කාන්තාව ලෙසින් යා යුත්තීය’’ යනුවෙන් කාව්‍යශේකරයෙන් අදහස් ගෙනහැර දක්වයි (කෝට්ටගොඩ,2001)

        ඒ අනුව නානුමර පෙළපාලිය තුළින් ආතුර කාන්තාව වෙත සන්නිවේදනය කර ඇත්තේ තම හිමියා ලිංගික කාර්යය උත්තේජන කර ගනිමින් මනා සම්භෝගයක් පවත්වා ගැනීම අවශ්‍ය වන බවය. දරුවන් නොලැබීම නිසාවෙන් ඇය තුළ යම් චිත්ත පීඩාවක් ඇති වී ඇත්නම් එය සුව කර ගනිමින් නැවත සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමට ඇය තුළ උනන්දුවක් නානුමුරය තුළින් ඇති කොට තිබේ. මෙවැනි කාරණා සමාජයේ බහුල කාරණාවන් නමුත් විවෘත කතා කිරීමට නොපෙළඹෙන කාරණාවන් ය. එනිසාවෙන් අතීත සමාජයේ දී ශාන්තිකර්ම තුළින් සිදුවූ මෙම සන්නිවේදන කාර්යය ඉතාමත්ම වැදගත් ය.

        ස්වාභාවයෙන් ම දරුවන්ට සෙනෙහසක් ඇල්මක් නොදක්වන කාන්තාවන් ද සමාජය තුළ සිටිය හැකිය. කාන්තාවක තුළ පවත්නා දරු ස්නේහය ද දරුවෙකු පිලිසිඳ ගැනීමේදී මානසික වශයෙන් බලපෑමක් කරනු ලබයි. වත්මනේ දී ද දරුවන් නොමැති කාන්තාවන් පිටතින් දරුවකු ගෙන උස්මත් කර හදාවඩාගත් පසුව ඇයගේම දරුවන් ලැබූ අවස්ථා  ඕනෑතරම් දක්නට ඇත. මෙම සංසිද්ධිය හඳුනා ගත් හෙළ කලාකරුවා රිද්දියාගය තුළදී දරු නැළවිල්ල නාට්‍යමය පෙළපාලිය තුළින් ආතුර කාන්තාවගේ හදවත තුළ දරු සෙනෙහස ඇති කිරීමට සමත්විය. එහි දී දරුවා නහවා පිරිසිදු කරගන්නා ආකාරය, දරුවා පවුඩර් දමා සුවදවත්ව තබන අයුරු ආදිය මෙන්ම මව්කිරි දීමේ වැදගත්කම ද නාට්‍යමය ස්වරූපයෙන් සන්නිවේදනය කර ඇත. මෙවැනි දේ ආතුර කාන්තාවට පමණක් නොව බලා සිටින්නාවූ අනෙකුත් කාන්තාවන්ට ද තම ජීවිතයට වැදගත් වේ. 

        කෙලගැල්මක් වත් ඇති වෙයි ද දැන්නෑ ........ මේ දරුනැලවිල්ලේ දී දරුවාට කිරිදෙන විට මවගේ භුමිකාව ර`ග දක්වන ශිල්පියාගේ ප‍්‍රකාශයකි. මෙය යම් පිරිසක් ඉදරිපිට දී දරුවකුට කිරිදෙන කාන්තාවක් සැලකිලිමත් විය යුතු සරල කාරණාවක් වුවද අපූරු ලෙස සන්නිවේදනය කර ඇත.

        තවද ශාන්තිකර්ම භූමියට රැුස්වී සිටින ඥාති හිත මිත‍්‍ර පිරිසට දරුවා පෙන්වා තෑගි බෝග ලබා ගැනීමේ අවස්ථාවක්ද දරු නැළවිල්ලේ අන්තර්ගතය. මා පියන් විසින් හදන වඩන දරුවා ඊළගට යොමු වන්නේ සමාජයටය. එහිදී දරුවෙකුට අවශ්‍ය ආදරය, රැුකවරණය සමාජය තුළින් ලබා දිය යුතු බවට මෙහිදි සන්නිවේදනය කර ඇත.

        දරුවන් ලබා ගැනීමට රි්ද්දි බිසවුන් කපු වගා කර එයින් ලැබෙන කපුවලින් නොයිදුල් සලූවක් වියා ලොව්තුරා බුදුන්ට පූජා කිරීමෙන් පසුව දරු ඵල ලැබූ ආකාරය නිරූපණය කරන කපුයක්කාරීය ව්‍යාංගාර්ථවත් සන්නිවේදන ලක්ෂණ වලින් යුක්තවේ. 

        දරු සම්පත් නොලැබීමට ස්තී‍්‍රන්ගේ මෙන්ම පුරුෂයින්ගේ කායික මානසික දුබලතා බලපානු ලබයි. එහෙත් බොහෝ විට මෙවැනි අවස්ථාවන් හි දී බොහෝ විට අවධානය යොමු වන්නේ කාන්තාව දෙසටය. නමුත් අතීත ශාන්තිකර්ම ශිල්පියා මෙම තත්වය මැනවින් අවබෝධ කර ගෙන ඒ සඳහා යෙදු පිලියමක් ලෙස කපුයක්කාරීය පෙළපාලිය දැක්විය හැකිය. එනම් මෙහි දී ආතුර කාන්තාවගේ ස්වාමියාද පැදුරේ වාඩිකරවා සලූව වියන්නට එකතු පහදු කර ගනියි. එතුලින් පුරුෂයාගේ මනසට කාන්තාව සමග සමගියෙන් සමාදානයෙන් අදාල කාර්යයන් සඳහා උනන්දු විය යුතු බව ව්‍යාංගයෙන් සන්නිවේදනය කර තිබේ. 

        කපු වැපිරීම සඳහා හේන් කෙටීමට සූදානම් වන බිසව සිය සැමියෙගෙන් කිසිදු අත් උදව්වක් නොලැබෙන බවත් තනි තනිව මෙම වැඩවල යෙදීම අපහසු බවත් දක්වයි. බිසව තනිව මෙම වැඩවල යෙදෙද්දිත් සැමියා කා බී ලිප් බොක්කට වී නිදා ගන්නා බව පවසයි. ඇතැම් තැනෙක තම්බපු වට්ටක්කා යැයි පවසමින් වඩු මාමාගේ වඩු මඩුවෙහි තිබුණු ගී‍්‍රස් ගිල දමන බව පැවසීමෙන් හැගීයන්නේ ඔහුට සාමාන්‍ය අවබෝධය පවා නැති බවයි (කෝට්ටගොඩ, 2001)

        මේ ආකාරයට නිරෝගී දරු සම්පත් ලබා ගැනීමට කාන්තාවක සහ පිරිමියෙකු කායික හා මානසික වශයෙන් සූදානම් කිරීම මෙන්ම. දරු සම්පතක ඇති වටිනාකම. ලිංගික ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය ලිංගික සෞඛය පිළිබඳ දැනුම, දරුවන් කෙරෙහි වැඩිහිටියන් වශයෙන් ලබා දිය යුතු සමාජ අවධානය ආදී කාරණාවන් පිළිබඳව සාර සන්නිවේදනයක යෙදීමට රිද්දියාගය ශාන්තිකර්මයේදී ශාන්තිකර්ම ශිල්පියා සමත් වී ඇති බව පැහැදිලිවේ. හුදු නර්තන ගායන වාදන අවස්ථාවකින් ඔබ්බට ගිය සන්නිවේදන ලක්ෂණ රිද්දියාගය තුළ අන්තර්ගත බව පැහැදිලිය.


    සටහන - දිනේෂ් ජයසිංහ

    මූලාශ‍්‍ර 

    සම්භාව්‍ය නර්තක සමීක්ෂා, ජයසේන කෝට්ටගොඩ,2001.

    ජන සන්නිවේදනය හා සමාජය, විමල් දිසානායක,1976.

    නිර්මාණාත්මක සන්නිවේදන ප‍්‍රවණතා, සුනන්ද්‍ර මහේන්ද්‍ර,2001.

    ශාන්තිකර්ම සන්නිවේදනය, ලොකුලියන,2001.

    අන්තර්ජාල වීඩියෝ


    Read More

    Post Top Ad

    Your Ad Spot