අන් කවරදාකටත් වඩා දේව විශ්වාස පිළිබඳව සමාජය තුළ විවිධ කථිකාවන් ඇතිව තිබේ. එක් කොටසක් දේව විශ්වාස පිටුපස අන්ධානුකරණයෙන් යුතුව ගමන් කරන අතර තවත් පිරිසක් දේව වන්දනය පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීමක් අරඹා ඇත. මේ අතර බුදු දහමේ මූලික ඉගැන්වීම් පවා අභියෝගයට ලක් කරමින් විවිධ මිථ්‍යාවන් බහුල ලෙස සමාජ ගත වීමද වත්මනේ දී දැකිය හැකිය.
ප්‍රාථමික මනුෂ්‍යයන් වශයෙන් ස්වාභාවදහම කෙරෙහි තිබූ කුතුහලය මෙන්ම බියද මූලික වශයෙන්ම දේව විශ්වාස හා ඇදහිලි කෙරෙහි මිනිසා යොමු වීමට මූලිකවම බලපා තිබේ. මෙය ලාංකිකයින් කෙරෙහිද පොදු ලක්ෂණයකි. ප්‍රාග් බෞද්ධ යුගයේ දී මෙරට විසූ ජනයා සතුවද එවැනි ඇදහීම් තිබූ බව ඉතිහාසය සාක්ෂි සපයයි.
පණ්ඩුකාභය රජු විසින් ව්‍යාධ දෙවියන්ට බටහිර දොරටුව අසල තල්ගසක වෙසෙන්නට ඉඩදුන් බව හා පච්හමරාජිනී නම් දෙවඟන උදෙසා බටහිර දොරටුව අසල දේවාලයක් ඉදිකර දුන් බව මහා වංශයේ සඳහන්ව ඇත.
බුදු දහම මෙරට තුළ ස්ථාපිත වීමත් සමඟ එතෙක් පැවති දේව ඇදහිල්ලද වෙනස්කම් වලට ලක්වී තිබේ. බුදු දහමේ මූලික ඉගැන්වීම් තුළදී දේව වන්දනයට ඉඩක් නොවුන ද මෙරට තුළදී බුදු දහමේ ආගමනය හේතුවෙන් එතෙක් පැවති දේව වන්දනා ක්‍රම ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම දේව ඇදහිලි තුළට බෞද්ධාගමික මුහුණුවරක් ආරෝපණය කිරීම සිදුව ඇති බව පැහැදිලිය. සෙනරත් පරණවිතාන දක්වා ඇති ආකාරයට සමන් දෙවියන් බවට පත්වී ඇත්තේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිටි යම නම් දෙවියන්මය. කෙසේ වෙතත් මූලික ඉගැන්වීම් අත්හැරි ජනප්‍රියවාදී බුදු දහමේ දී දේව වන්දනා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම වන්දනා කෙරෙහි බෞද්ධාගමික මුහුණුවර ආදේශ කිරීම ක්‍රමයෙන් සිදුව ඇත.
අට්ඨකතා පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ ඊ.ඩබ් අදිකාරම්ගේ මතයට අනුව ලක්වැසි බෞද්ධයන්ට දෙවියන් යනු හුදෙක් බුදුන්ට පක්ෂ වූ හෝ විපක්ෂ සත්ව කොට්ඨාශයක් පමණකි.
අනුරාධපුර යුගයේ මධ්‍ය අවධිය පමණ වනතෙක් මෙරට ජන විශ්වාසය තුල අවධානයට ලක්වූ දෙවිවරු තිදෙනෙකි.
සමන් දෙවි - බුදුන්ගේ පළමු ලංකාගමනය හා සම්බන්ධ වීම
උපුල්වන් දෙවි - බුදුන්ගේ නියමයෙන් විජය රජු ඇතුළු පිරිසට ආරක්ෂාව සැපයීම
කතරගම දෙවි - එළාර - දුටුගැමුණු යුද්ධය හා සම්බන්ධ වීම
දෙවැනි සියවස ගජබා රජ සමයේ දී දකුණු ඉන්දියාවෙන් සොලී සිරකරුවන් දොළොස්දහසක් ගෙ ඒමත් සමඟ ඔවුන් ඇදහු ශිව, විෂ්ණු, කාර්තිකේය, පත්තිනි ආදී ඇදහීම් මෙරටට පැමිණි බව ද ඊ.ඩබ් අදිකාරම්ගේ අදහසයි.
අනුරාධපුර යුගයේ අපරභාගයේ දී ක්‍රි:ව 1017 -1070 දක්වා ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරනු ලැබූවේ සොලීන් විසිනි. එම කාලයේ දී මෙරට තුළ දේව වන්දනය කෙරෙහි ලැබුණු රාජ අනුග්‍රහය හේතුවෙන් මෙරට තුළ දේව වන්දනය මුල් බැස ගැනීම වඩා හොඳින් සිදු විය.
පොලොන්නරු යුගය වන විට මෙරට තුළ හින්දු දේව විශ්වාස තදින් මුල් බැස තිබූ බව හමුවී ඇති පුරා විද්‍යා නටඹුන් තුළින් ද මනා ලෙස තහවුරු වී තිබේ. එකළ ඉදිවූ පටිමාඝර ආදියෙහි අන්තර්ගත හින්දු දේවාල ආකෘතිය බෞද්ධ පූජා භුමි තුළට හින්දු දේවාල ඇතුළත් වීම ආදියෙන් එය වඩාත් හොඳින් තහවුරු කරනු ලබයි.
රාජ අනුග්‍රහය, සතුරු ආක්‍රමණ සමඟ ඇති වූ දේශපාලනික වෙනස් වීම් ආදිය සමඟ මෙරට තුළ දේව වන්දනය බුදු දහම හා සමානවම සමහර අවස්ථාවන් වලදී බුදු දහමද අභිබවා යන අයුරින් සමාජය තුළ ස්ථාපිත වීම සිදුව ඇත.
ක්‍රි:ව 14 වන සියවස පමණ වන විට බුදු රදුන් හා දෙවියන් සම ආස්ථානයක ලා සලකන තරමට දේව වන්දනය සමාජගත වී පැවති බව ගඩලාදෙණයි, ලංකාතිලක විහාරය ආදී ස්ථාන වලදී බුද්ධ මන්දිරය තුළම දේවාල නිර්මාණය වීමෙන් පෙනී යයි.
කෝට්ටේ යුගය දේව වන්දනය ප්‍රචලිත වීමේ උච්චතම අවස්ථාව බවට පත් වී තිබූ බවට සාධක ලෙස එකළ රචනා වූ සන්දේශ කාව්‍යයන් දැක්විය හැකිය. එම සන්දේශ කාව්‍යයන් පහෙන් හතරකම ග්‍රාහකයා වන්නේ දෙවිවරුය. එනම්,
පරවි, කෝකිල සන්දේශ - උපුල්වන් දෙවියන්ටත්
ගිරා සන්දේශය - නාථ දෙවියන්ටත්
සැළලිහිණි සන්දේශය - විභිෂණ දෙවියන්ටත්, වශයෙනි.
මේ ආකාරයට සාහිත්‍යය තුළට පවා දේව වන්දනය අන්තර්ගත වීම තුළින් එකළ ජනවිඥ්ඥානය කෙරෙහි පවා දේව ඇදහීමේ බලපෑම පැහැදිලි වේ.
සීතාවක රජ සමය මෙරට දේව වන්දනය සහ බුදු දහම කෙරෙහි සුවිශේෂ සමයකි. එනම් සීතාවක රාජසිංහ රජු ශිව සමය වැළද ගැනීම හා බුදු සසුන කෙරෙහි රජු විසින් කළ විවිධ පීඩාවන් හි ප්‍රතිඵලය වූයේ දේව වන්දනය තවදුරටත් සමාජය තුළ මුල් බැස ගැනීමය. රජුගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් භික්ෂුන් වහන්සේලා උපැවදි වීම, පන්සල් විනාශ වී කෝවිල් නැගී ඒම වැනි කාරණාවන් සිදු විය. මෙම වකවානුවේ දී ශ්‍රි පාදය පවා ශිව භක්තිකයින්ගේ අතට පත් වීම වැනි කාරණාවන් සිදු විය.
කෝට්ටේ යුගයේ දී සිදු වූ පෘතුගීසි ආක්‍රමණයන් සමඟ ක්‍රිස්තියානි ධර්මය මෙරට තුළ ව්‍යාප්ත වීම ද දේව වන්දනයට රුකුලක් විය. ක්‍රිස්තු දේවත්වය පිළිගත් නව දේවවාදී පිරිසක් මෙරට බිහිවීම එතුළින් සිදු විය. සීතාවක යුගයේ සිටි ප්‍රමුඛතම ලේඛකයා වන අලගියවන්න මුඛවෙටි පවා ක්‍රිස්තු සමය වැළද ගැනීම සහ ඔහු විසින් රචනා කළ දෙවියන් වහන්සේට, ක්‍රිස්තු ස්වාමීන්ට හා එතුමන්ගේ කන්‍යාමරි මතාවට නමස්කාර කොට ඇරඹිම දේව වන්දනය නව ප්‍රවේශයකින් යුතුව ජන විඥ්ඥානයට ආමන්ත්‍රණය කිරීම සිදු විය.
මහනුවර යුගය වන විට රාජ අනුග්‍රහය සහිතව දේව වන්දනය සිදු විය. දේශපාලනිකව දේවතා වන්දනය කෙරෙහි ලැබුණු අනුග්‍රහයන් එයට මූලිකවම හේතු විය. බුදුන් සමයේ සතරවරම් දෙවිවරු ලෙස සැලකු ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන දෙවිවරු වෙනුවට උපුල්වන් (විෂ්ණු), සමන්, බොක්සැල්, විභිෂණ යනුවෙන් නව දෙවිවරු සතරක් සම්භාවනාවට පත්වීම මෙසමයේ දී සිදු විණි. දැඩිමුණ්ඩ, සත්පත්තිනි, කළුකුමාර, පිටියේ දෙවි, අයියනායක, වීරමුණ්ඩ වැනි ඉන්දීය සම්භවයක් සහිත දෙවිවරුත්, මංගර දෙවි, හන්තානේ දෙවි, දොළහ දෙවි, බෝගම්බර දෙවි වැනි දේශිය යැයි සැලකෙන දෙවිවරුද මෙකළ පුද පූජාවන්ට පාත්‍ර විය.
මහනුවර යුගයේ දී නායක්කාර වංශිකයන්ගේ බලාධිකාරිය දේව වන්දනයට මනා පිටුවලක් විය. මෙසමයේ දී එක් පිරිසක් හින්දු හා ක්‍රිස්තු දේව ඇදහිල්ල සෘජුව ඇදහීම සිදු කළ අතර සිංහල බෞද්ධ ජනයා බෞද්ධ මුහුණුවරකින් යුතුව දේව ඇදහීම සිදු කළේය. මෙකළ භික්ෂුන් පවා දේව වන්දනයට යොමු වූ අතර දෙවියන් සහ මිනිසුන් අතර අතරමැදියන් ලෙස ද භික්ෂුන් කටයුතු කළේය.
රොබර්ට් නෝක්ස් දුටු ලංකාවේද දේවාල කපුවන් දෙවන පූජක පක්ෂය වශයෙන් කටයුතු කළ බව සඳහන් කොට ඇත. ඔහු දක්වා ඇති ආකාරයට කපුවන්ගේත් සෙසු මිනිසුන්ගේත් අතර කිසිදු වෙනස්කමක් නොමැති අතර වෙනස නම් දේවාලයට යන විට ඉස් සෝදා නා පිරුවට ඇද පේවීමය.
ප්‍රාග් බෞද්ධ යුගයට පෙර සිට මෙරට ජනයා අතර පැවති දේව වන්දනය පිළිබඳ කථිකාව පරිණාමය වී අද වන විට ජනප්‍රිය බුදු දහම තුළට දේව වන්දනයන්ගෙන් උකහාගත් ලක්ෂණ වල බලපෑම සමඟ සැබෑ බුදු දහම හා දේව වන්දනය වෙන් කර හඳුනා ගත නොහැකි තරමට පත් වී ඇත. එයින් සිදු වූ අහිතකර තත්වය නම් දේව වාදය යොදා ගනිමින් මිනිසුන් මිථ්‍යාව කෙරෙහි යොමු කරවීමය.
සටහන - දිනේෂ් ජයසිංහ
පොතපත ඇසුරිනි


No comments:
Post a Comment